
මෑතකදී දිවයිනට බලපෑ සුළි කුණාටු තත්ත්වය මුල්කරගෙන මහජනතාව කුපිත කරවන ආකාරයේ අසත්‍ය තොරතුරු සමාජගත කළ බව කියන මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් අරඹන ලෙස නීතිඥ මංජුල කොඩිකාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල නීතිඥවරයා විසින් ඊයේ (10) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.
පසුගිය 12 වැනිදා මෙම ආපදා තත්ත්වය පිළිබඳව රජය දැනුවත් කර තිබූ බව හුවා දක්වමින් ඇතැම් මාධ්‍ය නාලිකා විසින් පුවත් නිර්මාණය කර ඇති බවත්, එමගින් රජය කෙරෙහි ජනතාව තුළ දැඩි ප්‍රකෝපකාරී හැඟීමක් ඇති කිරීමට කටයුතු කර ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය පෙන්වා දෙයි. වගකීම් විරහිත ලෙස සිදු කළ මෙම මාධ්‍ය වාර්තාකරණය හේතුවෙන් මහජන සාමය කඩවීමේ අවදානමක් මතු වූ බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීම පිටුපස ඇති සැබෑ අරමුණ සහ ඊට සම්බන්ධ පුද්ගලයන් හෝ ආයතන පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස නීතිඥ මංජුල කොඩිකාර මහතා සිය ලිඛිත පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.