8-year-old-boy-dies-after-trying-to-save-electrocuted-dog

 කුඹුරක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී සිටි සුනඛයකු බේරා ගැනීමට ගිය අට හැවිරිදි පාසල් සිසුවකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් මිද්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ.



මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මිද්දෙණිය, හෙල්ලල ප්‍රදේශයේ පදිංචිව සිටි තීක්ෂණ විශ්ව අනුරාධ නමැති දරුවෙකි. මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඔහු මියයන විට අවුරුදු 8යි මාස 10ක වයසක පසුවිය.

පසුගිය 02 වැනිදා පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. නිවස පිටුපස ඇති කුඹුර දෙසින් තම නිවසේ ඇති කරන සුරතල් සුනඛයා කෑගසන හඬ ඇසී ඇති සිසුවා වහා එදෙසට දිව ගොස් ඇත. එහිදී අනවසර විදුලි රැහැනේ පැටලී සිටි සුනඛයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දරුවාට ද විදුලි සැර වැදී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.




විදුලි සැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි සිසුවා වහාම මිද්දෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. විදුලි සැර වැදුණු සුනඛයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබිණි.

අදාළ අනාරක්ෂිත විදුලි රැහැන සිසුවාගේ අසල්වැසියෙකු විසින් කුඹුරේ ඇති ජල මෝටරයක් ක්‍රියාත්මක කිරීම සඳහා අනවසරයෙන් ඇද තිබූ එකක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිසුවාගේ දේහය මිද්දෙණිය රෝහලේ තැන්පත් කර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.