be-sensitive-to-children-returning-to-school-after-a-disaster-some-of-them-have-witnessed-the-disaster-firsthand

 පවතින ආපදා තත්ත්වය හමුවේ විපතට පත් දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව අතිශය වැදගත් කරුණු රැසක් සෞඛ්‍ය සහ ළමා ආරක්ෂක අංශ විසින් අනාවරණය කර තිබේ. විශේෂයෙන්ම ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මවුපියන් අහිමි වූ දරුවන්ගේ තොරතුරු රැස්කිරීමේ කූට ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා (සැලසුම්/තොරතුරු) ශානිකා මලල්ගොඩ මහත්මිය හෙළි කළාය.

විපතට පත් දරුවන්ට ආධාර උපකාර ලබා දෙන මුවාවෙන් පැමිණෙන ජාවාරම්කරුවන් වට්ස්ඇප්, ෆේස්බුක් සහ මැසෙන්ජර් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන්ගේ පෞද්ගලික තොරතුරු සහ ඡායාරූප ඉල්ලා සිටින බවත්, කිසිදු පිටස්තර පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එම තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.




මෙලෙස ආධාර ලබා දෙන බව පවසමින් පැමිණෙන නාඳුනන පුද්ගලයන්ට දරුවන්ගේ තොරතුරු ලබා දීම තුළින් එම දරුවන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්විය හැකි අතර එය දරුවන්ගේ අනාගතයට මෙන්ම ඔවුන්ගේ ආත්මගෞරවයට ද හානිකර විය හැකිය. යම් හෙයකින් දරුවන් පිළිබඳ තොරතුරු ලබා දිය යුතු වන්නේ නම්, එය තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට, ජාතික ළමාරක්ෂක අධිකාරියට හෝ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පමණක් සිදු කළ යුතු බව ඇය අවධාරණය කළාය. එසේම නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කිසිදු අයෙකුට දරුවෙකුගේ භාරකාරත්වය පැවරිය නොහැකි බවත්, එය අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා සිදුවිය යුතු බැවින් පිටස්තර පුද්ගලයන්ට දරුවන් බාර දීමෙන් වළකින ලෙසත් උපදෙස් ලබා දී තිබේ. යම් සැකකටයුතු සිදුවීමක් දුටුවහොත් 1929 අමතන ලෙස ඇය ඉල්ලා සිටියාය.

මේ අතර, එළඹෙන දෙසැම්බර් 16 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමත් සමඟ ගුරුවරුන් දරුවන් විෂයෙහි ඉතා සංවේදීව කටයුතු කළ යුතු බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජේබණ්ඩාර මහත්මිය අවධාරණය කළාය. ඇතැම් දරුවන් මෙම ව්‍යසනයෙන් තම මවුපියන් හෝ ඥාතීන් අහිමි වූවන් විය හැකි අතර, තවත් පිරිසක් ආපදාව සියැසින් දැක හෝ මාධ්‍ය හරහා දැකීමෙන් කම්පනයට පත්ව සිටිය හැකිය. එබැවින් පාසලට පැමිණෙන දරුවන් ආදරයෙන් පිළිගන්නා ලෙසත්,


ඔවුන්ට සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙසත්, දරුවන් සමඟ කේන්ති ගැනීමෙන් හෝ ඔවුන්ට බැණ වැදීමෙන් වළකින ලෙසත් ඇය ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

විශේෂයෙන්ම අතරමග නැවතුණු උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ව දිරිගන්වමින් ඔවුන්ට විභාගයට සූදානම් වීමට අවශ්‍ය මානසික සහාය ලබා දීම අත්‍යවශ්‍ය වේ. එසේම මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා යම් පුද්ගලයෙකුගේ සායන කාඩ්පත ආපදාව හේතුවෙන් විනාශ වී ඇත්නම්, එය ගැටලුවක් කර නොගෙන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත පැමිණ අදාළ ප්‍රතිකාර අඛණ්ඩව ලබා ගන්නා ලෙස වෛද්‍යවරිය දැනුම් දුන්නාය. ආපදා තත්ත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් ද දිගින් දිගටම මෙම සිදුවීම් දැකීමෙන් මානසික පීඩනයට ලක්විය හැකි බැවින් ඔවුන් ද විවේක ගැනීම වැදගත් බව ඇය පෙන්වා දුන්නාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල මහත්මිය සඳහන් කළේ ආපදාවට ලක්වූවන් මෙන්ම සෙසු පිරිස් ද රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ආපදා දර්ශන නරඹමින් පීඩනයට පත් නොවිය යුතු බවයි. යම් මානසික ගැටලුවක් ඇත්නම් 1926 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සහාය ලබා ගත හැකි බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.