පසුගියදා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් රජරට ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් දකුණු පළාතේ තරුණ පිරිසක් විසින් අගනා මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම පිරිස අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයට පැමිණ ගංවතුරට හසුවීම නිසා අකර්මණ්‍ය වූ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සියල්ල කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ අලුත්වැඩියා කර දීමට කටයුතු කළහ. විපතේදී සැබෑ මිනිස්කම ඉස්මතු කරමින් ඔවුන් සිදු කළ මෙම කාර්යය මුළු රටටම මහත් ආදර්ශයක් සැපයූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.ඇල්පිටිය සහ පිටිගල යන ප්‍රදේශවලින් පැමිණි මෙම තරුණ කණ්ඩායම වෘත්තියෙන් වාහන අලුත්වැඩියා කරන්නන් වන අතර, ඔවුන් තම සේවා ස්ථාන තාවකාලිකව වසා දමා තම ආදායම පවා පසෙක ලා මෙම සත්ක්‍රියාව සඳහා එක්ව සිටීම විශේෂත්වයකි. මහා ගංවතුරක් හේතුවෙන් ප්‍රවාහන මාධ්‍ය අහිමිව අසරණ වී සිටි ජනතාවගේ දෛනික කටයුතු යලි පණ ගැන්වීම වෙනුවෙන් ඔවුන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව රාජාංගණය ප්‍රදේශයේ කඳවුරු බැඳ මෙම අලුත්වැඩියා කටයුතු සිදු කරන ලදී.
සාමාජිකයින් දහහතර දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම කණ්ඩායම මීට පෙර ගංවතුර ඇති වූ මුල් අවස්ථාවේදී ද අනුරාධපුරයට පැමිණ විපතට පත් ජනතාව දෙදහසකට පමණ ආහාර පාන ලබා දීමට කටයුතු කර තිබුණි.
අනතුරුව අනුරාධපුර සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව නැවත වරක් දින කිහිපයකින් මෙලෙස පැමිණ ජලයෙන් හානි වූ වාහන යථා තත්ත්වයට පත් කර දීමේ වගකීම භාරගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval