baddegama-chuti-caught-in-thalawathugoda-4-shootings-in-the-south

 කැලඹී තිබු දකුණු පාතාලය මේ වන විට දැඩි නිහඬතාවක් පෙන්නුම් කරන්නේය. ඒ මන්ද යැයි කිසිවකු නොදතත් මෙම නිහඬතාව තවත් ඝාතනයකට සූදානම් වීමක් දැයි කා තුළත් ඇත්තේ දැඩි සැකයකි. ඊට හේතු රාශියක් ඇති අතර ඉන් ප්‍රධානතම හේතුව වන්නේ දින කිහිපයකට පෙර දකුණේ සිදු කළ වෙඩි තැබීම්වලට විදෙස්ගතව සැඟව සිටින පාතාල කල්ලි නායකයන් කිහිපදෙනකුගේ නම් ගෑවී තිබීමය.

මේ නිසා කොයි මොහොතක හෝ තවත් වෙඩි තැබීමක් හෝ මිනිස් ඝාතනයක් දකුණු පළාතෙන් වාර්තා විය හැකි බවට බොහෝ දෙනා සැක පළ කරන්නෝය. ඒ නිසා මෙම නිහඬතාව කා තුළත් ඇති කර ඇත්තේ කිසියම් සැකයකි.

මෙම තත්ත්වය වඩාත් තීව්‍ර වූයේ විදෙස්ගතව සැඟව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වූ කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වූ මිරන්ත නමැත්තා වෙඩි තබා මරා දැමීමත් සමඟය. එම ඝාතනය සිදු වූයේ ඉකුත් නොවැම්බර් මස 4 වැනිදාය.

එම ඝාතනය සිදුවීමට පෙර කරන්දෙණිය සුද්දාගේ කිසිදු ඥාතියකුට ප්‍රහාරයක් එල්ල කිරීමට දකුණේ කිසිදු අයකු සමත් වූයේ නැත. ඒ සුද්දාගේ ඥාතියකුට අත තැබීම තවත් ඝාතන වැලක ඇරැඹුමක් බව දන්නා නිසාය.

කෙසේ වෙතත් සුද්දාගේ බිරියගේ වැඩිමහල් සොහොයුරා වූ මිරන්ත  මෙලෙස මහ මඟ වෙඩි තබා මරා දැමීමත් සමඟ මුළු දකුණම කැලඹී ගියේය. ඒ ඊට එකට එක කිරීමක් ලෙස තවත් ඝාතනයක් දකුණේ සිදුවන බව බොහෝ දෙනා හොඳින් දන්නා නිසාය.

මිරන්තගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ මහදුර නලීන්ගේ පුතුන් වෙතය. ඒ සුද්දාගේ මස්සිනා ඝාතනයෙන් පසු නලීන්ගේ පුතකු විදෙස්ගතව සිටින සුද්දාගේ පුතකුට දුන් දුරකථන ඇමැතුමක් හේතුවෙන්ය.

“මගේ තාත්තාව මැරුව නිසා උඹලගේ තාත්තවත් මැරුවා“ මෙම ඇමැතුම මුළු දකුණම කලඹවන්නට සමත් විය. ඒ කරන්දෙණිය සුද්දාට මෙලෙස තර්ජනය කළ කිසිවකු ද එතෙක් දකුණේ නොසිටි නිසාය.

මහදුර නලීන් ඝාතනය වන්නේ ඉකුත් මැයි මස 3 වැනිදාය. නලීන්ගේ ඝාතනය මෙහෙය වූ බවට චෝදනා එල්ල වූයේ කරන්දෙණිය සුද්දාටය.

කරන්දෙණිය සුද්දාගෙන් තම පියා මැරූ වාඩුව ගත නොහැකි තැන නලීන්ගේ පුතුන් දකුණේ සංවිධානාත්මක අපරාධකරුවකු සමඟ එක්ව සුද්දාගේ මස්සිනා මෙලෙස ඝාතනය කළ බවට චෝදනා එල්ල විය.


එය හොඳින් තහවුරු වූයේ සුද්දාගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු නලීන්ගේ පුතකු ගේදොර අතහැර පලා යෑම නිසාය.

කෙසේ හෝ ඔහු පසුපස හඹා ගිය ගාල්ල අපරාධ කොට්ඨාසය සැඟව සිටි නලීන්ගේ පුතා සෙල්ල කතරගම ප්‍රදේශයේදී අල්ලා ගත්තේ ලැබුණු තොරතුරකට අනුවය. සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරාගේ මෙහෙයවීම මත සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස සඟවා තිබූ රිවෝල්වර අවියක්ද වළ දමා තිබියදී සොයා ගැනීමට හැකි විය. පසුව වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී කරන්දෙණිය සුද්දාගේ මස්සිනාට වෙඩි තැබූ තුවක්කුකරුද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය.

සුද්දාගේ මස්සිනා ඝාතනය වී දින කිහිපයක් ඇතුළතදී එනම්, නොවැම්බර් මස 17 වැනිදා මීටියාගොඩ ප්‍රදේශයේ අවන්හලකට කඩා වැදුණු අවිගත් තුවක්කුකරුවකු එම අවන්හලේ අයකැමිවරිය ලෙස කටයුතු කළ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළේය. විමර්ශනයේදී හෙළි වූයේ ඇය මීට පෙර වෙඩි තබා මරා දැමූ මහදුර නලීන්ගේ ඥාතිවරියක් මෙන්ම නලීන් පුතුන්ගේ නැන්දණිය බවත්ය. එමෙන්ම තම මස්සිනා වෙඩි තබා මරා දැමීමට රිටර්න් එක ලෙස නලීන්ගේ නැන්දණිය එලෙස මරා දමා ඇති බවත් විමර්ශනයේදී තහවුරු වූ අතර එම වෙඩි තැබීම විදෙස්ගතව සිටින කරන්දෙණිය සුද්දාගේ මෙහෙයවීම මත සිදුවූවක් බවට චෝදනා එල්ල විය.

ඊට පසු දින එනම් නොවැම්බර් මස 18 වැනිදා තංගල්ල උණාකූරුව කපුහේන හන්දියේ වෙළෙඳසලකට කඩාවැදුණු තවත් අවිගත් තුවක්කුකරුවකු එම වෙළෙඳසලේ සිටි අඹු – සැමි යුවළක් වෙඩි තබා මරා දැමීමත් සමඟ මෙම ආරවුල තවත් තීව්‍ර විය. ඊට ප්‍රබලම හේතුව එම අඹු – සැමි යුවළ විදෙස්ගතව සිටින තවත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ උණාකූරුවේ ශාන්තගේ ළඟම ඥාතීන් වීමය. කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමට ගිනි අවිය සැපයුවේ උණාකූරුවේ ශාන්ත බවට චෝදනා එල්ලවීම මත ඔහුගෙන් පළිගත නොහැකි තැන ශාන්තගේ මාමා සහ නැන්දණිය එලෙස මරා දමා ඇති බව විමර්ශන නිලධාරීහු සැක පළ කළහ. එමෙන්ම මෙම ද්විත්ව ඝාතනයට දකුණේ තවත් සංවිධානාත්මක අපරාධකරුවකු වූ දෙහිබාලේ නමැත්තාගේ ගෝලබාලයන්ගේ සහායද ලැබී ඇති බවටද චෝදනා එල්ල විය.

මෙම ඝාතන සමඟ දකුණේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සමීපතම ඥාතීන් බියට පත්ව සිය ආරක්ෂාව සඳහා නිවෙස් පවා අතහැර ගිය අතර මෙම ඝාතනවලට ප්‍රතිප්‍රහාර ලෙස තවත් වෙඩි තැබීම් සිදුවන්නට ඉඩ ඇති බව ඔවුහු සැක පළ කළහ.

එහි තවත් ප්‍රතිඵලයක් ලෙස පසුගිය දෙසැම්බර් මස 1 වැනිදා ත්‍රිකුණාමල පොලිස් වසමේදී තවත් වෙඩි තැබීමක් සිදුවිය. ත්‍රිකුණාමලය විශේෂ කාර්ය බළකායට ආසන්නයේ නිවෙසක ජීවත් වූ පුද්ගලයකු මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් විය. එලෙස ඝාතනය වූයේ බත්කඩේ ප්‍රසන්න නමැති අයෙකි. එම ඝාතනයේ සැකයද බැර වී ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ ගිණුමටය.

දිගින් දිගටම මෙලෙස දකුණේ සිදුවුණු මිනිස් ඝාතනවලට සම්බන්ධ තුවක්කුකරුවන් කොටු කර ගැනීම සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත දකුණේ විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන ඇරැඹුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵලයක් හෝ ලබාගෙන ඇත්තේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පමණි. ඒ කරන්දෙණිය සුද්දාගේ මස්සිනාට වෙඩි තැබූ තුවක්කුකරු සහ ඔහු සමඟ ගමන්ගත් රියැදුරා අල්ලා ගැනීමට හැකි වීම නිසාය. ඒ හැරෙන්නට වෙඩි තැබීම් සිදු කළ සෙසු තුවක්කුකරුවන් කොටු කර ගැනීමට දකුණු විමර්ශන නිලධාරීන් මෙතෙක් සමත් වී නැත.




දකුණු පළාතේ විමර්ශන කණ්ඩායම් මෙම ඝාතන සිදු කළ තුවක්කුකරුවන් පසුපස පන්නද්දී ඉකුත් 9 වැනිදා කොළඹ තලංගම පොලිසියේ නිලධාරීන්ට අහම්බෙන් පුද්ගලයකු කොටු කරගත හැකි විය. ඒ තලංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් තලවතුගොඩ පොලිස් වසමේ හෝටලයක් අසල කරන ලද වැටලීමකදීය. එම ප්‍රදේශයේ සැක සහිතව රැඳී සිටි පුද්ගලයකු පරීක්ෂා කළ නිලධාරීන්ට ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ මිලිග්‍රෑම් 130ක් සොයාගත හැකි වූ අතර එලෙස මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටින්නේ ඇයි දැයි නිලධාරීහු ඔහුගෙන් විමසූහ. එහිදී ඔහු නිලධාරීන්ට පවසා ඇත්තේ තමා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු බවත් පානය සඳහා එම මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවය.

ඔහුගේ එම ප්‍රකාශයෙන් නිලධාරීන්ට කිසියම් සැකයක් ඇති වූ අතර මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට ඔහුට මුදල් ලැබෙන්නේ කෙලෙසද යන්න විමසීමේදී ඔහු දුන් පිළිතුරු ගැන සෑහීමකට පත් නොවූ නිලධාරීන් ඔහුගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කරද්දී ඔහු බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද තහවුරු වීම නිසා ඔහු කෙරෙහි වූ සැකය වඩාත් තීව්‍ර විය.

බද්දේගම පුද්ගලයකු මෙලෙස කොළඹ කරක් ගසන්නේ ඇයි දැයි කළ විමසීමේදී ගොළුවත රැකීම නිසා ඔහු තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත රැගෙන ගිය නිලධාරීහු ඔහුගෙන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.

යුද හමුදාවේ හිටපු කොමාන්ඩෝ සෙබළෙකු වූ ‘බද්දේගම චූටී‘ නමැති මෙම පුද්ගලයා පවසන පරස්පර ප්‍රකාශ ගැන සෑහීමකට පත් නොවූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති

සුභාෂ් මොහු සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානාධිපති අනුරුද්ධ දැනුවත්කර නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දෙහිදෙණියගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ඇරැඹීය.

මොහු බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු  වූ බැවින් නිලධාරීන් මොහු සම්බන්ධයෙන් මුලින්ම කරුණු කාරණා විමසුවේ බද්දේගම පොලිසියෙන්ය. එම විමසීමට ප්‍රතිචාර දක්වමින් බද්දේගම පොලිසිය පවසා සිටියේ මෙම සැකකරුට එරෙහිව බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු 4ක් විභාග වන බවත් එම නඩුවලට පෙනී නොසිටීම නිසා මොහුට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති බවත්ය. ඒ අනුව නිලධාරීන්ට වැටහී ගියේ මොහු බද්දේගම පොලිසියට අවශ්‍යම සැකකරුවකු බවය. වැඩිදුරටත් කළ විමසීමේදී බද්දේගම පොලිසිය දන්වා සිටියේ මොහුට එරෙහිව පවතින නඩු මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ඒවා  බවත්ය.

ඒ අනුව ඔහු ගැන තවත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තලංගම පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරීහු මොහු සම්බන්ධ වතගොත සහ මොහුගේ හැඩරුව දකුණේ අපරාධ සම්බන්ධයෙන්  විමර්ශන සිදු කරන ඒකක කිහිපයකටද දැනුම් දුන්හ.

“අපි එහෙම දැනුවත් කරල මේ පුද්ගලයාගෙන් තවදුරටත් ප්‍රශ්න කළා. එතකොට මිනිහා දකුණේ වුණු වෙඩි තැබීම් කිහිපයකම තොරතුරු අපිට කියන්න පටන් ගත්තා. මේ පුද්ගලයා කිව්වා එම සිද්ධීන්වලට යතුරුපැදිය පැදවූයේ ඔහු බව. ඒත් මොහු කියන ප්‍රකාශය ගැන අපට සැක ඇති වුණා මොහු රයිඩර්ද නැත්නම් ෂූටර්ද කියලා.”

“ඒ සැකය මත මොහුගේ හැඩරුව, උස, මහත සේරම ගාල්ල, ඇල්පිටිය, තංගල්ල, අම්බලන්ගොඩ පොලිස් ස්ථානවලටත් ඒවායේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකවලටත් ලබා දුන්නා.”

“පස්සේ එම ඒකකවල නිලධාරීන් තලංගම පොලිසියට ඇවිත් මේ සැකකරුගෙන් එම ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරන්නට වුණා. ඒ ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීම් හතරක තොරතුරු තහවුරු වුණා. එතනදීත් මෙම පුද්ගලයා කීවේ එම වෙඩි තැබීම් සිදු කරන්නට යතුරුපැදිය පැදවූයේ ඔහු බවයි” සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමේදී විමර්ශන නිලධාරියෙක් පැවසුවේය. එහෙත් දකුණු පළාතෙන් පැමිණි විමර්ශන නිලධාරීන් සැක කළේ මොහු එම සිද්ධිවලට සම්බන්ධ තුවක්කුකරු වන්නට  ඇති බවය. ඔවුන් එසේ සැක කළේ එම වෙඩි තැබීම් සම්බන්ධයෙන් ලබාගත් සී. සී. ටී. වී. දර්ශන පරීක්ෂා කළ පසුය. එම දර්ශනවලට අනුව එම වෙඩි තැබීම් සිදු කිරීමට යතුරුපැදියේ ගමන් ගන්නා තුවක්කුකරු මොහුගේ හැඩරුවට සමාන බව නිලධාරීන්ට නිරීක්ෂණය වුවද මොහු නිලධාරීන් හමුවේ ඒ බව පිළිගත්තේ නැත.

“මෙයා ඔය වෙඩි තැබීම්වල රයිඩර් කියල කියන්නේ හේතුවක් නිසා කියලා අපට සැකයක් ඇතිවුණා.  මෙයා කිව්වා නම් මම සිද්ධීන්වල “ෂූටර්” එයා කියලා අපි එයාගෙන් එම වෙඩි තැබීම සිදු කරපු වෙපන් ගැන අහනවනේ. ඒ වෙපන් එක පොලිසියට දෙන්නත් වෙනවනේ.”



“ඒ නිසා මෙයා මෙම වෙඩි තැබීම්වල යතුරුපැදිය පැදවූ පුද්ගලයා (රයිඩර්) හැටියට පෙනී සිටින බව අපිට ඒත්තු ගියා” විමර්ශන පැවැත්වූ එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. ඉන්පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගත් විමර්ශන නිලධාරීහු ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කරන්නට වූහ. එහිදී අනාවරණය වූයේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මොහු මෙහෙයවා ඇති බවය.

ඒ අනුව හෙළි වූයේ මෙම සැකකරු එම සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වී ඉකුත් මස තංගල්ල පොලිස් වසමේ උනාකූරුව ප්‍රදේශයේ අඹු-සැමි යුවළක් ඝාතනය කිරීම, හික්කඩුව කුමාර කන්ද ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීම, අම්බලන්ගොඩ පොලිස් වසමේ අයිස් මෝල ප්‍රදේශයේදී අඹු-සැමි යුවළකට වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම හික්කඩුව පොලිස් වසමේ නිවෙසකට වෙඩි තැබීම  ආදී සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයකු බවය.

මීට වසර කිහිපයකට පෙර කිසියම් වරදකට හසුව මොහු බන්ධනාගාරගත වන අතර එහිදී දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් කොල්ලා නමැත්තා මොහුට හඳුනා ගැනීමට ලැබෙන බවත් පසුව ඒ මාර්ගයෙන් මොහු තවත් සංවිධානාත්මක අපරාධකරුවකු වූ කරන්දෙණිය සුද්දා දැන හැඳින ගෙන ඇති බවත් සැකකරු සම්බන්ධයෙන් කළ විමසීමේදී අනාවරණය වූ බව විමර්ශන නිලධාරීන් පවසා සිටියේය. එතැන් පටන් මොහුව කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා විසින් මෙම අපරාධ සඳහා මෙහෙයවා ඇති බවට සැකකරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

දින හතක රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර සැකකරු සම්බන්ධ වෙඩි තැබීම්වල මොහු වෙඩික්කරුද නැතහොත් පැදිකරුද යන්න මෙතෙක් තහවුරු වී නැතත් මොහු එම වෙඩි තැබීම් හතරට සම්බන්ධ අයකු බව නිලධාරීහු කීහ.

මෙම සිද්ධිය සඳහා සැකකරුට මුදලක් ගෙවා නැතත් දින දෙකකට වරක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ලබාදී ඇතැයිද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මුලින්ම හිර ගෙදරට යද්දි මොහු මත්ද්‍රව්‍ය භාවිත කර නැතත් හිරගෙදර තුළදී මොහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව ඇති බවත් මේ වන විට ඔහු අධික ලෙස අයිස් පානය කරන බවත් විදේශගතව සිටින අපරාධකරුවන් විසින් මොහුට අවශ්‍ය මත්ද්‍රව්‍ය ‘ලොකේෂන්’ ක්‍රමයට ලබාදී ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් විමර්ශන නිලධාරීහු කීහ. මෙම සැකකරු මෙම වෙඩි තැබීම් සිදු කර එම ප්‍රදේශයෙන් නික්ම කඩුවෙල ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන ඇති බවත් එම හෝටල් ගාස්තු සහ කෑම බීම වියදම සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සපයා ඇති බවත් විමර්ශන නිලධාරියා හෙළි කළේය. ඒ හැරෙන්න මොහු මුදල් කොන්ත්‍රාත්තු මත එම වෙඩි තැබීම්වලට සම්බන්ධ වී නැතැයි කියති. ඊට අමතරව එදිනෙදා වියදම සඳහා දහ පහළොස් දාහ මොහුගේ ගිණුමට බැර කර ඇති බව සඳහන්ය.

සැකකරු සම්බන්ධයෙන් දකුණු පළාතේ කොට්ඨාස අපරාධ ඒකක රැසක් විමර්ශන ආරම්භ කර ඇත.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ශාමන්ත විජේසේකර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි (4) විජේසිංහගේ උපදෙස් මත තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධගේ මෙහෙයවීමෙන් තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ආරියරත්න ඇතුළු සැරයන් කුමාරතුංග (30566), කොස්තාපල් කුමාර (84768), මිහිරංග (78864), සඳරුවන් (79783), ප්‍රභාත් (94012), වීරසිංහ (97366), උදයරත්න (73326), මධුසංක (104297) (97297) ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධ විමර්ශනයට එක්ව සිටියහ.

(Keerthi Mendis- Mawbima)