
ආපදා අවස්ථාවලදී පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලැබෙන සහනාධාර සොරා ගන්නා සහ මංකොල්ලකන පිරිස් කොටු කර ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මේ වන විටත් එවැනි ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් දොළොස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත්, වීඩියෝ දර්ශන ඇතුළු විවිධ සාක්ෂි පදනම් කර ගනිමින්
මෙම සැකකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා සඳහන් කරයි.
මීට අමතරව, ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජනතාව නොසන්සුන් කිරීමට සහ කලබලයට පත් කිරීමට උත්සාහ කරන පුද්ගලයින් පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙනම විමර්ශනයක් දියත් කර තිබේ. මෙම ව්‍යාජ ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනටමත් පැමිණිලි හැත්තෑවකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව එහි උසස් නිලධාරියෙකු තහවුරු කළේය.
අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා හුවමාරු කළ සැලකිය යුතු පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර,
තමන් වෙත ලැබුණු තොරතුරු ව්‍යාජ ඒවා බව නොදැන ඒවා තම මිතුරන් අතර බෙදා හැරීමට කටයුතු කළ බව ඔවුන් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval