zoysa-who-killed-a-sri-lankan-family-in-ottawa-is-sentenced-to-life-in-prison

පසුගිය 2024 මාර්තු මාසයේදී කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක් වාසය කළ නිවසක සිදුවූ සය පුද්ගල මිනීමැරුමට චෝදනා ලද ශ්‍රී ලාංකික තරුණයාට ජීවිතාන්ත සිර දඩුවමක් පනවා තිබේ. කැනඩාවේ ඔටාවා නුවර කම්පනයට පත්කළ මෙම සිදුවීම ශ්‍රී ලාංකික ප්‍රජාවටද අත් කරේ අපකීර්තියකි.


කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකික පවුලක් ඇතුළු හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික තරුණයාට, වසර 25ක් යනතුරු සමාවක් (parole) හිමි නොවන පරිදි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය. ඔහු පළමු පෙළේ මිනීමැරුම් චෝදනා හතරකට, දෙවන පෙළේ මිනීමැරුම් චෝදනා දෙකකට සහ මිනීමැරීමට තැත් කිරීමේ එක් චෝදනාවකට අධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

මෙම බිහිසුණු ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ කැනඩාවට මෑතකදී සංක්‍රමණය වූ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක මහත්මිය, ඇයගේ දරුවන් වන හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි, දෑ අවුරුදු රිනයානා සහ මාස දෙකහමාරක් වයසැති කෙලී යන සිව් දෙනාය. ඊට අමතරව, එම නිවසේ සිටි පවුලේ හිතවතෙකු වූ 40 හැවිරිදි අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් මහතා ද ඝාතනයට ලක්විය. දර්ශනීගේ සැමියා වන ධනුෂ්ක වික්‍රමසිංහ මහතා පමණක් බරපතල තුවාල ලබා මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අතර, අධිකරණයේදී වින්දිතයින් වෙනුවෙන් සංවේදී ප්‍රකාශයක්ද ඉදිරිපත් කළේය.




නඩු විභාගයේ මුලසුන දැරූ විනිසුරු කෙවින් ෆිලිප්ස් මහතා මෙය නගරයේ ඉතිහාසයේ සිදු වූ දරුණුතම අපරාධයක් ලෙස හඳුන්වමින්, මෙම සිදුවීම සමස්ත ප්‍රජාව "මුලසිටම කැලඹීමට" ලක් කළ බව පැවසීය. තමන්ට සෙවණ දුන් පවුලේ විශ්වාසය සැකකරු විසින් කඩ කර ඇති බවත්, ඔහු "ලස්සන පවුල් දෙකක්" විනාශ කළ බවත් විනිසුරුවරයා ද සොයිසාට දන්වා සිටියේය. මෙම ප්‍රචණ්ඩත්වයේ මට්ටම "විස්මිත, බිහිසුණු සහ යක්ෂ ස්වභාවයක්" ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඝාතනය සිදුවන අවස්ථාවේ 19 හැවිරිදි ද සොයිසා ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස මෙම පවුල පදිංචිව සිටි නිවසේ පහළ මාලයේ (basement) කාමරයක නවාතැන් ගෙන සිට ඇත. දිවි ගලවා ගත් ධනුෂ්ක වික්‍රමසිංහ මහතා, සැකකරුගේ ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමාපියන්ගේ හිතවතෙකු වූ අතර, එම හඳුනනකම මත ඔහුට නවාතැන් දී තිබිණි. හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ විහාරස්ථානයේ භික්ෂුවකගේ ප්‍රකාශයකට අනුව, මෙම පවුල විහාරස්ථානයට නිතර පැමිණ ඇති අතර, සැකකරුද ඔවුන් සමග පැමිණ තිබේ. මෑතකදී සැකකරුගේ 19 වැනි උපන්දිනය සැමරීමට දර්ශනී ඇතුළු පවුලේ අය ඔහු කැමතිම චීස් කේක් එකක් පවා පිළියෙළ කර දී ඇත.

අධිකරණයේදී හෙළි වූ කරුණු අනුව, ද සොයිසා පළමුව පහළ මාලයේ සිටි ගාමිණී අමරකෝන් මහතාට පිහියෙන් ඇන මරා දමා ඇත. ඉන් නැගුණු ශබ්දය පිළිබඳව පවුලේ අය විමසූ විට, තමන් රූපවාහිනියෙන් බිහිසුණු චිත්‍රපටයක් නරඹන බව පවසා ඔවුන්ව නොමග යවා තිබේ. අනතුරුව ඔහු උඩුමහලට ගොස්, සිය බිළිඳිය තුරුළු කරගෙන සිටි දර්ශනීට සහ අනෙක් දරුවන් තිදෙනාට පිහියකින් ඇන ඝාතනය කර ඇත.

පැය ගණනාවකට පසු රැකියා දෙකක නිරතවී නිවසට පැමිණි ධනුෂ්ක මහතාට පහර දීමට පෙර, තමන් සිත සන්සුන් කර ගැනීම සඳහා TikTok වීඩියෝ නැරඹූ බව ද සොයිසා පොලිසියට පවසා තිබිණි. ධනුෂ්ක මහතා නිවසට පැමිණි විගස සැකකරු ඔහුට පහර දුන් අතර, පිහි පහරවල් කිහිපයක්ම වළක්වා ගැනීමට ධනුෂ්ක මහතා සමත් විය. මෙම "දරාගත නොහැකි ඛේදවාචකය" නිසා තමාට ඇඟිලි කිහිපයක් අහිමි වූ බවත්, මුහුණට සහ පපුවට බරපතල තුවාල සිදුවූ බවත්, සිය පවුල, නිවස සහ ජීවනෝපාය අහිමි වූ බවත් ඔහු අධිකරණයට පැවසීය. කෙසේ හෝ සැකකරුගෙන් මිදුණු ඔහු, ලෙයින් තෙමී විලාප දෙමින් නිවසින් පිටතට දිව ගොස් ඇති අතර,


අසල්වැසියන්ගේ 911 ඇමතුම් මත පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අඥාන ප්‍රචණ්ඩ ක්‍රියාවට හේතුව තවමත් පැහැදිලි නැතත්, 19 හැවිරිදි මෙම තරුණයා අවසන් කාලයේ මානසික ගැටලු කිහිපයකින් පෙළුණු බවට තොරතුරු හෙළිවී තිබේ. ඔහු ඇල්ගොන්කින් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වුවද 2023 ශීත ඍතු වාරයෙන් පසු අධ්‍යාපනය අතහැර දමා තිබූ අතර, සියදිවි නසාගැනීමේ සිතුවිලි වලින්ද පීඩා විඳ ඇති බවට වාර්තා විය. ඔහුගේ නැන්දණියක ග්ලෝබල් නිව්ස් වෙත පවසා තිබුණේ මෑතකදී ඔහුගේ හැසිරීම වෙනස් වූ බවත්, ඔහු තම පවුලේ සාමාජිකයන්ගේ දුරකථන අංක සහ සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කර සම්බන්ධතා නතර කළ බවත්ය.

මෙම පවුල කැනඩාවට සංක්‍රමණය වී ඇත්තේ මෑතකදීය. කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරිනියක වූ දර්ශනී 2023 ජූලි මාසයේද, ඇගේ සැමියා ධනුෂ්ක සහ දරුවන් තිදෙනා 2023 සැප්තැම්බර් මාසයේදී ද කැනඩාවට පැමිණ ඇත. ඝාතනයට ලක් වූ මාස දෙකහමාරක් වයසැති බාල දියණිය වන කෙලී කැනඩාවේදී උපත ලබා ඇති අතර, අනෙක් දරුවන් තිදෙනා ශ්‍රී ලංකාවේ උපත ලැබූවන්ය. ඔවුන් කිසිවෙකු කැනේඩියානු පුරවැසිකම ලබා නොසිටි බවද පොලිසිය තහවුරු කළේය.