we-will-not-benefit-from-the-budget-doctors-to-strike-from-tomorrow-17-gmoa

වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සඳහා 2026 අයවැය යෝජනා හරහා නිසි විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (17) පෙරවරු 08.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.



ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම අයවැය මගින් වෛද්‍යවරුන්ගේ ගැටලු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බවට එම සංගමය චෝදනා නගන අතර, මේ පිළිබඳව රජයේ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තද ඊට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.




මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් ආවරණය වන පරිදි හෙට දිනයේ මෙම විරෝධතා ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේය.

වෘත්තීය ක්‍රියාමාර්ගයේ එක් පියවරක් ලෙස, රෝගීන් සඳහා බාහිර ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමට නිර්දේශ කිරීම සහ බාහිර රසායනාගාරවලින් පරීක්ෂණ සිදුකිරීමට නිර්දේශ කිරීම වැනි කටයුතුවලින් හෙට සිට රජයේ වෛද්‍යවරුන් ඉවත්වන අතර, එමගින් රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ හා පහසුකම් හිඟය පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.