මීටියාගොඩ ප්‍රදේශයේදී මීට පෙර ඝාතනය වූ 'මහදුම නලීන්' නැමැත්තාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස, අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (04) ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඝාතනයෙන් අනතුරුව, විදෙස්ගතව සිටින මහදුම නලීන්ගේ පුත්‍රයා වන 'ඉසුරු' නැමැත්තා, ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පුත්‍රයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇත. "උඹේ තාත්තාව මැරුවේ මමයි. ඒ මගේ තාත්තා මරපු පළිය ගත්තා" යනුවෙන්
ඔහු එහිදී ප්‍රකාශ කර ඇති බව විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෝරඹ පාළුවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ෂවිතාන මිරන්ත නැමති 51 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු බහුදින යාත්‍රා හිමිකරුවෙකු වන අතර, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කරන්දෙණියේ සුද්දා' නැමැත්තාගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා, එනම් මස්සිනා බවද පොලිසිය තහවුරු කරගෙන ඇත.
ඊයේ (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය අසලදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. ව්‍යාපාරිකයා බැංකුවක සිට අම්බලන්ගොඩ වරාය වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ එම ප්‍රහාරවලින් ව්‍යාපාරිකයාගේ ගෙල, මුහුණ සහ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ඝාතනයට ලක්වූ වර්ෂවිතාන මිරන්ත මහතා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයෙකි. තවද, ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගර සභාව සඳහා සමගි ජන බලවේගය ලැයිස්තුවෙන් තරඟ කළ අපේක්ෂකයෙකු මෙන්ම අම්බලංගොඩ සමුපකාර මහා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද විය.
මෙම ඝාතනය 'මහදුම නලීන්' ඝාතනයේ පළිගැනීමක් බවට ප්‍රබලව තොරතුරු හෙළිවී ඇතත්, පොලිසිය තවත් කරුණු කිහිපයක් ඔස්සේ ද විමර්ශන සිදුකරයි. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑතකදී අත්අඩංගුවට ගත් 'ලොකු පැටී' නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ රුපියල් කෝටි 33ක මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව, ඝාතනය වූ ව්‍යාපාරිකයා සභාපතිත්වය දැරූ දේවාලයේ කපු මහතා ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. එම සිදුවීම හා මෙම ඝාතනය අතර සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව ද දීර්ඝ විමර්ශනයක් ක්‍රියාත්මකය.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අම්බලන්ගොඩ නගර සභාවේ මාසික සැසිවාරය පුස්තකාල ගොඩනැගිල්ලේ උඩුමහල් ශ්‍රවණාගාරයේ පැවැත්වෙමින් තිබී ඇත. වෙඩි ශබ්දය ඇසීමත් සමග, සභා රැස්වීමට පැමිණ සිටි පිරිස මෙන්ම ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ද තැතිගැන්මට ලක්වූ අතර, සභාව තුළ වෙඩි තැබීමක් සිදුවූයේදැයි සැකයෙන් පොලිසිය ඉහළ මාලයට දිවගොස් තිබේ. මෙම සිදුවීමත් සමග ඇතිවූ කලබලකාරී තත්ත්වය හමුවේ සභාවේ ආරක්ෂාව තකා නගර සභා රැස්වීම නතර කිරීමට සභාපතිවරයා පියවර ගෙන ඇත.
අපරාධය සිදුකළ සැකකරුවන් මෝටර් රථයෙන් ගාලු පාර ඔස්සේ ඇල්පිටිය-අම්බලන්ගොඩ මාර්ගය දෙසට පලාගොස්, එම රථය කරන්දෙණිය, එගොඩවෙල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. වෙඩික්කරු අතරමගදී බස්සවා රථයේ රියදුරු පමණක් පැමිණ රථය දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval