update-eppawala-principal-suspended-from-work

 හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගෙන තිබේ. ආයතන සංග්‍රහයේ වගන්ති යටතේ ගැනෙන වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මෙම තීරණය ගත් බව අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියකින් දන්වා ඇත.



අත්අඩංගුවට පත් 59 හැවිරිදි මෙම විදුහල්පතිවරයා, විශ්‍රාම යාමට සිටියේ තවත් වසරකිනි. වැඩ තහනම නිසා විශ්‍රාම වැටුපද ඔහුට අහිමිවන්නට ඉඩ තිබේ.



ඔහු පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක වූ දිස්නා නෙරංජලා මහත්මියගේ සැමියා වන අතර, මෙම සිදුවීමත් සමග ඇය ඊයේ (06දා) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෙත ඇය විසින් යොමු කර ඇත.

පසුගිය 05 වනදා එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ විදුහල්පතිවරයාට අයත් හෝටලයක සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය පොලිසිය විසින් සොයා ගන්නා ලදී. රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 118ක් (ඇතැම් වාර්තාවලට අනුව කිලෝ 1යි ග්‍රෑම් 185ක්) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, විදුහල්පතිවරයා සහ එම හෝටලයේ 29 හැවිරිදි සූපවේදියකු ද පොලිස් අත්අඩංගුවට පත් විය.

සැකකරුවන් දෙදෙනා ලබන 12 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබේ. මීට අමතරව, අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ දේපළ පිළිබඳව ද පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ විදුහල්පතිවරයාගේ සහ නාගරික මන්ත්‍රීවරියගේ පුත්‍රයා විසින් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මීට පෙරද අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිට ඇති ඔහු, පසුගිය ඔක්තෝබර් 30 වනදා ද හෙරොයින් ග්‍රෑම් 20ක් සමග ඉපලෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබිණි.

එම සැකකාර පුත්‍රයා 31 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී, ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි හෝටලයේ සූපවේදියා ලවා නිවසේ තිබූ මත්ද්‍රව්‍ය පාර්සලයක් නබඩවැව ආශ්‍රිත ප්‍රදේශයක පළමුව සඟවා ඇත. පසුව, සුවදුක් බැලීමට පැමිණි පියා වන විදුහල්පතිවරයාට, සූපවේදියා එය සොරකම් කිරීමට ඉඩ ඇති බව පවසා, එම පාර්සලය නැවත ගෙන්වාගෙන හෝටලය පිටුපස ආරක්ෂිතව වළ දමන ලෙස සැකකාර පුත්‍රයා උපදෙස් දී තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත පළමුව සූපවේදියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වනවිටත් ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී විදුහල්පතිවරයා විසින් හෝටලය පිටුපස වළ දැමූ හෙරොයින් තොගය පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ. මෙම ජාවාරම පිළිබඳ විදුහල්පතිවරයා ද දැනුවත්ව සිට ඇති බව පොලිසිය පවසයි.

ඩුබායි රාජ්‍යයේ සිට මෙම හෙරොයින් තොගය එවා ඇත්තේ විදුහල්පතිවරයාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයකු වන 'ශෂී' නමැත්තෙකු බවත්, විදුහල්පතිවරයාගේ බිරිඳ වන හිටපු මන්ත්‍රීවරිය දකුණේ පාතාල නායකයකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියක බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී ඇත. ඇයගේ කැලණියේ පිහිටි නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර, ජාවාරම සම්බන්ධයෙන් ඇයගෙන් ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.