update-bad-weather-31-dead-in-10-days

 දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 කට බලපෑම් එල්ල වී ඇති අතර, ගතවූ දින 10 ක කාලය තුළ ආපදා මරණ 31 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම මරණවලින් වැඩිම සංඛ්‍යාවක් ඌව පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 18 ක් බවත්, ඊට අමතරව සබරගමුව පළාතෙන් මරණ 7 ක් සහ මධ්‍යම පළාතෙන් මරණ 4 ක් සිදුව ඇති බවත් වාර්තා වේ.

විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, හෑගොඩ, මැඩොල්සිම ඇතුළු ප්‍රදේශ කිහිපයක නායයෑම් හේතුවෙන් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් අතුරුදහන්ව සිටින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ නිවාස දෙකක් නායයෑමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට සහ උඩුදුම්බර ප්‍රදේශවල පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදහන් වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරු තහවුරු කරති. සමස්තයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක පවුල් 1,158 කට අයත් පුද්ගලයින් 4,008 දෙනෙකු ආපදාවට ලක්ව ඇති අතර, පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.


පවතින අවදානම් තත්ත්වයන් හේතුවෙන් පවුල් 41 කට අයත් පුද්ගලයින් 131 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ආපදා අංශ පෙන්වා දෙයි.

අධික වර්ෂාවත් සමඟ මාර්ග රැසක ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර, පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබේ. මීට අමතරව කොළඹ - නුවර මාර්ගය ඊයේ රාත්‍රියේ සිට වසා දමා ඇති අතර, නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයද තාවකාලිකව වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇත. මධ්‍යම පළාතේ මාර්ග රැසක් අවදානම් තත්ත්වයේ පවතින බැවින් රියදුරන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර මොණරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් කුඹුක්කන රංගා හෝටලය අසලදී ගංවතුරට හසු වූ නමුත්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් ට්‍රැක්ටර් රථ යොදාගනිමින් එහි සිටි මගීන් 23 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වී තිබේ. තවද, 1902 වසරේ ඉදිකරන ලද දැනට භාවිතයෙන් ඉවත් කර තිබූ බෙන්තර පැරණි පාලම ඊයේ රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 300.1 ක අගය මඩකලපුව රූගම් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.