the-suspicion-of-the-catering-employee-who-repeatedly-deposited-70-million-in-the-bank-being-involved-in-the-powder-business-is-confirmed

 මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 7.6කට අධික මුදලක් බැංකු ගිණුමක තැන්පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කේටරින් ආයතනයක සේවය කරන කාන්තාවක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.



දෙමටගොඩ, බේස්ලයින් මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක පවත්වාගෙන ගිය ගිණුමක් හරහා මෙම මුදල් ගනුදෙනුව සිදුව ඇති අතර,


සැකකාරිය විසින් අවස්ථා 134කදී රුපියල් 76,413,972ක මුදලක් තැන්පත් කර නැවත අවස්ථා 187කදී එම මුදල් ආපසු ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

අදාළ මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව නිත්‍යානුකූලව තහවුරු කිරීමට සැකකාරිය අපොහොසත් වීම සහ එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ඒවා බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මට්ටක්කුලිය, ශ්‍රී වික්‍රමපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය සම්බන්ධ වී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කවුරුන්ද යන්න සොයා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.