පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වසා දමා තිබූ බෙන්තොට පැරණි පාලමේ දකුණු පස කොටස පසුගිය 26 වනදා රාත්‍රියේ දී කඩා වැටීමට ලක්ව තිබේ. බෙන්තර ගඟ හරහා වැටී ඇති මෙම පාලම කඩා වැටීමෙන් කිසිදු පුද්ගල හානියක් සිදුව නොමැති බව ප්‍රදේශයේ වාර්තාකරුවන් තහවුරු කර ඇත.
වර්ෂ 1902 දී පමණ ඉදි කර ඇති මෙම ඓතිහාසික පාලම වසර ගණනාවක් පුරාවට බස්නාහිර සහ දකුණු පළාත් යා කරමින් ගාලු පාරේ ප්‍රධාන ගමනාගමන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක විය. මීට වසර කිහිපයකට පෙර නව පාලම ඉදි කිරීමත් සමඟ පැරණි පාලම අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සඳහා වසා දැමීමට එවකට රජය කටයුතු කළ ද, එය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන නොතිබුණි. මෙම පැරණි පාලම පසුගිය කාලය පුරාවටම දේශීය හා විදේශීය සංචාරකයින් මෙන්ම ඡායාරූප ශිල්පීන් ද ආකර්ෂණීය ඡායාරූප ගැනීමේ ස්ථානයක් ලෙස බහුලව භාවිත කිරීමට පෙළඹී සිටියහ.
කොළඹ සිට කිලෝමීටර් 62 ක පමණ දුරකින් පිහිටා ඇති බෙන්තර ප්‍රදේශය හරහා ගලා බසින බෙන්තර ගඟ කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක මායිම් කරමින් බස්නාහිර සහ දකුණු පළාත් වෙන් කරන ස්වභාවික මායිම ලෙස සැලකේ. හිනිදුම ප්‍රදේශයේ හේකොක් කඳුවැටියෙන් ආරම්භ වී සැතපුම් 18 ක් පමණ දුරක් ගෙවා ගලා එන මෙම නදිය, කුඩා දොළ පහරක් ලෙස ඇරඹී මීගම් ගඟ හා එක්වීමෙන් අනතුරුව විශාල ජල දහරක් බවට පත්වෙයි.
වර්ග කිලෝමීටර් 622 ක ජල පෝෂක ප්‍රදේශයකට හිමිකම් කියන බෙන්තර ගඟ, පැලවත්ත, පිටිගල සහ වැලිපැන්න වැනි අතු ගංගා රැසක ජලයෙන් පෝෂණය වී අවසානයේ මහ මුහුදට ගලා බසී.
බෙන්තොට යනු අතීතයේ පටන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් වෙරළබඩ කලාපයක් වන අතර, ගංගාව ආශ්‍රිතව නිර්මාණය වී ඇති මිදෙල්ල දූව, ඕලෑව සහ දෙල්දූව වැනි දූපත් මෙම පරිසර පද්ධතියේ අලංකාරය තවදුරටත් වැඩිකරයි. බ්‍රිතාන්‍ය යුගයේ විසූ සුප්‍රකට මිනුම් දෝරුවරයෙකු වූ ආර්. එල්. බ්‍රෝහියර් පවා තම "Seeing Ceylon" කෘතිය මගින් බෙන්තර ගඟේ කඩොලාන පරිසරය, එහි වෙසෙන සතුන් සහ ස්වභාවික සෞන්දර්යය පිළිබඳව ඉතා ඉහළින් වර්ණනා කර ඇත. අතීතයේ පාලම් නොතිබූ යුගයේ දී මෙම ගංගාව හරහා ගමන් කිරීමට ඔරු පාරු භාවිත කර ඇති අතර, වර්තමානයේ දී එය සංචාරක බෝට්ටු සවාරි සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.
ජනප්‍රවාදයට අනුව බෙන්තොට තොටුපළෙහි අරක්ගෙන සිටි බව කියන භයානක යක්ෂයෙකු නිසා මෙම ප්‍රදේශය 'භීමතිත්ත' නමින් ඓතිහාසික මූලාශ්‍රවල හඳුන්වා ඇති අතර පසුව එය බෙන්තොට බවට පත්ව තිබේ. එසේම "බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉඳන් ඇස් ඇරපු බළල් පැටවකු වත් මෙහා පැත්තට ගේන්න එපා" යන සුප්‍රකට කියමන ද මෙම ගංගාව හා බැඳුණු ජන වහරේ එන අපූරු කතාවකි. දකුණු පළාතේ මිනිසුන්ගේ බුද්ධිමත්භාවය සහ කපටි බව හැඟවීමට යොදා ගන්නා මෙම කියමනට පාදක වී ඇත්තේ සියනෑ කෝරළයේ වලව්වක බින්න බැසීමට පැමිණි දකුණු පළාතේ තරුණයෙකු සිය මාමණ්ඩියගේ උපාය පරදවා තම අරමුණු ඉටු කරගත් පුවතක් බව ජනශ්‍රැතියේ සඳහන් වේ.
ඔබගේ දැනගැනීම පිණිස කතාව මෙසේය.
සියනෑ කෝරළයේ එක්තරා මුදලිවරයෙකුට සිටියේ එකම එක දුවෙක් පමණයි. ඇය ඉතාම ලස්සනයි. මුදලිවරයාව සියනෑ කෝරළයේ වතුපිටි කුඹුරු සහ දේපොල ගොඩක් තිබුණ. එම සියලු දේපලවලට එකම පසු උරුමක්කාරය වුයේ අර දියණියයි . මුදලි දෙමහල්ලන් ඇස් දෙක වගේ ඇය රැකබලා ගත්තා . තමන්ගේ කුලපරම්පරාවට, පවුලට ගැළපෙන කරුණයෙකුට ඇය පාවාදීමට රටපුරා කපුවන් යවා සොයා බැලුවා. ඇය විවාහ කරදෙන තරුණයා මුදලිවරයාගේ නිවසේම පදිංචි විය යුතුයි. ඒ සඳහා කැමතිවන තරුණයන් සිටියත් ඔවුහු බොහෝ විට තම තත්වයට නොගැලපෙන අය වුහ. ඇතැම් විට කුලමල හොඳ වුවත් දේපල ඇතත් බේබදුකමට හෝ සල්ලාලකමට හුරුවු අය. තවත් විටෙක හමුවන තරුණයාට දියණිය අකමැති වෙයි. මේ නිසා සුදුස්සෙකු සොයාගැනීම තරමක් අපහසු වුනා. දිනක් එක් මඟුල් කපුවෙක් දකුණු පළාත් වැදගත් වලව් පැලැන්තියක තරුණයෙක් කැඳවා ගෙන ආවේ. ඔහුටත් අර මුදලිවරයාට වගේම වතුපිටි දේපොල සිය ගම් පළාතේ තිබුණ. එම පවුලේ එකම දරුවාත් ඔහුමය.
හොඳ කඩවසම් උගත් ඉළන්දාරියෙකි. මුදලිවරයාගේ දියණියන් ඔහුට හොඳටම කැමතිවුනා . රදළ තරුණයාද මුදලිවරයාගේ ධනයටන් වඩා රූබර දියණිය කෙසේ හෝ සිය බිරිය කර ගැනීමට සිතාගත්තා . මුදලිවරයා අනාගත බෑනා කර ගැනීමට කැමති වු තරුණයාට කොන්දේසිය වු මනාලියගේ නිවසේ ස්ථිරවම පදිංචි විය යුතු බව දන්වුවා. කොහොමවත් ඔහුගේ යටි සිත එයට කැමති නැහැ.
තම මව්පිය දෙදෙනා රැක බලාගැනීමට සිටියේ තමා පමණක් නිසාත්, තම දේපල විකුණා දමීමට නොහැකි නිසාත්, (පරම්පරාගත දේපොල එකල පැවති පීතකොමිස් නීතියට යටත් වු බැවිනි.) බිරිඳගේ නිවසේ පදිංචි වු විට, නැන්ද මාමගේ අභිමතයට අවනතව, තම නිදහස තරමකට හෝ පාවාදීමට සිදුවන නිසාත්, බිරිඳ වුවත් එයාගේම නිවසේම සිටින නිසා ස්වාමිපුරුෂයා වන තමන් අභිබවා ක්‍රියා කළොත්? යන සැකයත්, නිසා එසේ ඔහුගේ සිත මාමණ්ඩියගේ කොන්දේසියට අවනත වුනේ නැහැ. නමුත් කෙසේ හෝ මැය බිරිය කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටි බැවින් 'හා හොඳයි ̃ කියා පොරොන්දු විය.
මුදලි දියණියත් ඔහුත් අතර විවාහය සිද්ධ කෙරුණි. මනාලයා සිය බිරියත් සමග වලව්වෙහි පදිංචිව සිටියා . මාස කීපයක් ගත කරන විට සිය බිරියගේ ආදරය තදින්ම දිනා ගැනීමට ඔහු සමත් විය. සිය ගමේ පදිංචියට යාමට ඇය කැමති කරවා ගැනීමට ඔහු සමත් විය. දෙදෙනා ගමේ ගොස් එන නියාවෙන් ගමට ගොස් නතර වුහ. මේ බව දැනගත් මුදලිවරයා තදින්ම කෝප වී යනු එනු පවා නතර කළා. දියණිය පමණක් දෙමාපියන් බැලීමට විටින් විට සියනෑ කෝරළයේ නිවෙසට පැමිණියා.
කලක් යන විට මුදලිවරයාගේ කේන්තිය අඩුවුනා. නමුත් බෑනා තවමත් මාමණ්ඩිය හමුවට නොපැමිණේ. මුදලිතුමා දැන් වයස්ගත නිසාත්, පියාගෙන් පසු තමන්ට උරුම වන දේපොල රැකගත යුතු නිසාත්, පරිපාලනයට උදව්වීමටත්, විශ්වාසවන්ත කෙනෙකු එහි යැවීමට තීරණය කර ගත්හ. ඒත් ඒ සඳහා පියාගෙන් කැමැත්ත ලබාගතයුතු නිසා දියණිය සියනෑ කෝරළයේ මහ ගෙදරට ගියා, දින දෙක තුනක් රැඳී සිට පියා සමග කතාකරමින් සිටින අවස්ථාවක තමන්ගේ අදහස ඉදිරිපත් කළා.
“පප්පෙ මෙහේ තනි නොතනියටවත් කවුරුවත් නැති නිසා, අරයාගේ නැද මල්ලි කෙනෙක් ඉන්නව එක්ක ඇවින් නවත්වන්නද? කියා මුදලිතුමාගෙන් දියණිය විමසුවා.
"හාපෝ ...... බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉඳල ඇහැ ඇරිච්ච බළල් පැටියෙක් වත් මෙහාට ගේන්න එපා” යි මුදලිතුමා ගත් කටටම සිය දියණියට කීවේය.
මුදලිතුමා ප්‍රකාශ කළ මේ ප්‍රකාශය කටින් කට පැතිර ගියා.
(ජයවර්ධන. ආප්තෝපදේශ සහ පිරුළු කතා, ගොඩගේ , කොළඹ.1995, 159-161)
Comments
Post a Comment
Your comment will be visible after approval