srilankan-airlines-introduces-self-check-in-facility-at-airport-and-ground-operations-services

 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එකම බිම් මෙහෙයුම් සේවා සපයන්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපොළ සහ බිම් මෙහෙයුම් අංශය, එම ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කරන අනෙකුත් ගුවන් සේවාවල මගීන් සඳහා ද ස්වයං-පිරික්සුම් (Self-check-in) සේවා හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මෙම නව පහසුකම හඳුන්වා දී ඇත්තේ ඉදිරියට පැමිණෙන, සංචාරකයන් බහුලව පැමිණෙන ශීත සෘතුව ඉලක්ක කර ගනිමිනි.


එම කාල සීමාව තුළ, එළඹෙන දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 300,000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන ඔස්සේ, පසුගිය මාසයේදී කටුනායක ගුවන් තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය තුළ නව ස්වයං-පිරික්සුම් යන්ත්‍ර 20 ක් අලුතින් ස්ථාපිත කර ඇත. ඒ අනුව, එම පරිශ්‍රය තුළ මේ වන විට ක්‍රියාත්මක වන මුළු යන්ත්‍ර සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබේ. මෙමගින් ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇති අතර, මගීන්ට වැඩි පහසුවක් සැලසීම මෙන්ම මෙරට සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ ප්‍රයත්නයට ද විශාල සහයෝගයක් ලැබෙනු ඇත.

පසුගිය 2023 වසරේදී මුල් වරට හඳුන්වා දෙන ලද මෙම ස්වයං-පිරික්සුම් යන්ත්‍ර, මගීන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර, සාම්ප්‍රදායික පිරික්සුම් කවුන්ටර (Check-in counters) වෙනුවට මෙම යන්ත්‍ර භාවිත කිරීමට ඔවුන් වැඩි වශයෙන් පෙළඹී ඇත.


වර්තමානය වන විට, කටුනායක ගුවන් තොටුපොළෙන් විදෙස් ගත වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන්ගෙන් සියයට 15ක්ම මෙම පහසුකම භාවිත කරන අතර, එය පිටත්වීමේ පර්යන්තයේ පවතින තදබදය අවම කිරීමට සුවිශාල දායකත්වයක් සපයා තිබේ. මෙමගින් මගීන්ට පෝලිම්වල රැඳී සිටීමකින් තොරව, සෘජුවම යන්ත්‍රය වෙත ගොස් සරල පියවර කිහිපයක් ඔස්සේ තම ආසන තෝරාගැනීම, ගුවන් යානයට ගොඩවීමේ අවසර පත්‍ර මුද්‍රණය කර ගැනීම සහ ගමන් මලු සඳහා වන ටැග් පත් (Bag Tags) ලබාගැනීම ඇතුළු කටයුතු ඉක්මනින් සම්පූර්ණ කර ගත හැකි වේ.