sri-lanka-suffers-heavy-defeat-against-zimbabwe

 පාකිස්තානයේ රාවල්පින්ඩි නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (20) පැවති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 67ක දැවැන්ත පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.



සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් ලකුණු 163ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලට පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 95ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් පමණි.




ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යම් හෝ සාර්ථකත්වයක් පෙන්වූ නායක දසුන් ශානක පන්දු 25ක් තුළ ලකුණු 34ක් රැස්කළ අතර, භානුක රාජපක්ෂ ලකුණු 11ක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, මෙම පිතිකරුවන් දෙදෙනා හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ බ්‍රැඩ් එවන්ස් ලකුණු 09කට කඩුලු 03ක් ද, රිචඩ් ගරාවා ලකුණු 15කට කඩුලු 02ක් ද බිඳ හෙළමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කිරීමට සමත් වූහ.

මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක්වූයේ විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ පිලක් හමුවේ ශ්‍රී ලංකාව දැවී ගිය තෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙන්ම, ජාත්‍යන්තර විස්සයි20 ඉතිහාසයේ ඕනෑම කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාව දැවී ගිය 9 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.




අනෙක් පසින් මෙම ජයග්‍රහණය අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය හිමි රටකට එරෙහිව ලකුණු පරතරය අනුව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ දැවැන්තම ජයග්‍රහණය ලෙස ද ඉතිහාසයට එක්විය. මීට පෙර 2016 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 31කින් ජයග්‍රහණය කරමින් ඔවුන් තබා තිබූ වාර්තාව මෙමගින් අලුත් විය.