singer-who-sent-nude-photos-of-his-wife-to-his-sister

 සිය බිරිඳගේ නිරුවත් ඡායාරූපයක් ඇයගේ නැගණිය වෙත වට්ස්ඇප් (WhatsApp)  ඔස්සේ යොමු කළ බවට එල්ල වී තිබූ බරපතල චෝදනාවකට තමන් වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු අද (20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් ගොනුකර තිබූ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරු නීතිඥවරුන් මාර්ගයෙන් මෙම ස්ථාවරය ප්‍රකාශ කළේය.

සිද්ධියට අදාළ පසුබිම විමසා බැලීමේදී, වසර දහයක් පමණ පැරණි විවාහ දිවියක් ගත කළ මෙම යුවළ අතර හටගත් පවුල් ආරවුල් සහ සැකකරුගේ ක්‍රියාකලාපය හේතුවෙන් බිරිඳ සිය මවගේ නිවසට ගොස් සිටි අතරතුර ජපානයේ සිටින තරුණයෙකු සමග දුරකථන සබඳතාවක් පවත්වා ඇති බව හෙළි විය. කෙසේ වෙතත් පසුව දෙපාර්ශවය නැවත සමගි වී එකට ජීවත් වීම ආරම්භ කර ඇති අතර,


එම කාලසීමාව තුළ සැකකරු විසින් බිරිඳගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරද්දී අදාළ ජපන් තරුණයා සමග හුවමාරු කරගත් පණිවුඩ සහ එම සංවාද අතර තිබූ බිරිඳගේ නිරුවත් ඡායාරූපයක් දැක තිබේ.

එම ඡායාරූපය දැකීමෙන් පසු උරණ වූ සැකකරු එය තම බිරිඳගේ නැගණියගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් පණිවුඩයක් ලෙස යොමු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. මෙම ක්‍රියාව 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන (සංශෝධිත) පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයා අදාළ චෝදනාවට වරද පිළිගැනීමට සූදානම් බවත් මෙම නඩුව හැකි ඉක්මනින් අවසන් කර ගැනීමට ඔහු අපේක්ෂා කරන බවත්ය.


මෙහිදී පැමිණිලිකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටි බව ද දක්නට ලැබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, දඬුවම් නියම කිරීමට පෙර සැකකරුගේ පෙර වැරදි ඇත්දැයි සොයා බැලීම සඳහා ඇඟිලි සලකුණු වාර්තාවක් කැඳවීමට නියෝග කළේය. ඒ අනුව අදාළ වාර්තාව සලකා බලා සැකකරුට දඬුවම් නියම කිරීම සඳහා නඩුව නැවත දෙසැම්බර් මස 19 වනදා කැඳවීමට අධිකරණය තීරණය කළේය.