principal-arrested-for-fight-with-al-student

 අම්බලන්තොට ප්‍රදේශයේ පාසලක ශිෂ්‍ය නායක පත්වීම් උත්සවයක් අතරතුර ඇති වූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් එම පාසලේ උසස් පෙළ සිසුවෙකු, විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දෙදෙනෙකු අම්බලන්තොට පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ආරවුලට මුල් වී ඇත්තේ,

ශිෂ්‍ය නායක පත්වීම ලබා ගැනීම සඳහා අදාළ සිසුවා සාමාන්‍ය ඇඳුමින් සැරසී පාසලට පැමිණීම බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිහිප දෙනෙකු විසින් සිසුවාට ඔහුගේ ඇඳුම සම්බන්ධයෙන් අවවාද කර ඇති අතර,


එම අවවාදය නොඉවසූ සිසුවා කලහකාරී ලෙස හැසිරී ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ ගැන අදහස් දැක්වූ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ, මෙම කලබලය අතරතුර සිසුවාගේ අතක් වීදුරුවකට කැපී තුවාල සිදුව ඇති බවයි. මෙම සිදුවීමෙන් පසු, පාසලේ ගුරුවරයෙකු විසින් මෙන්ම සිසුවාගේ මව විසින් ද පොලිසියට එකිනෙකාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇත. අත්අඩංගුවට ගත් ගුරුවරුන් දෙදෙනා අතර මෙම පැමිණිලිකාර ගුරුවරයා ද සිටින බව පොලිසිය තහවුරු කළේය.

දෙපාර්ශ්වයෙන්ම ලැබුණු පැමිණිලි විභාග කිරීම සඳහා පොලිසිය විසින් පෙරේදා (10) දිනයේදී අදාළ සියලු දෙනා පොලිස් ස්ථානයට කැඳවා තිබිණි. එහිදී සිසුවා සහ ඔහුගේ මව සිද්ධිය සමථයකට පත් කර ගැනීමට එකඟතාව පළ කර ඇතත්, විදුහල්පතිවරයා ඊට කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ. ඔහු අවධාරණය කර ඇත්තේ, අදාළ සිසුවා විසින් විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි. කෙසේ වෙතත්, සිසුවා එම යෝජනාවට එකඟ නොවීම හේතුවෙන් සමථ උත්සාහය අසාර්ථක වී ඇත. ඒ අනුව, සිද්ධියට අදාළව සිසුවා, විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. අම්බලන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.