අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික තොගයක් ළඟ තබාගෙන සිටි පෙර පාසල් ගුරුවරියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා මාදම්පිටිය පොලීසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ සවස 6.40ට පමණ මිහිජය සෙවණ නිවාස සංකීර්ණයේ පිහිටි සැකකරුවන්ගේ නිවසට ගිය අවස්ථාවේදී සැකකාර ස්වාමිපුරුෂයා නිවසේ නොසිටි අතර එහි සිට ඇත්තේ ඔහුගේ 32 හැවිරිදි බිරිඳ පමණි.
පොලිස් නිලධාරීන්ට ඇය පිළිබඳව ඇතිවූ සැකයක් මත සිදුකළ පරීක්ෂා කිරීමේදී, ඇය ඇඳ සිටි ළය ආවරණයේ සඟවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
සැකකාරිය පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන අතරතුරම මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවත්,
ඇයගේ ස්වාමිපුරුෂයා තවත් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන නිවසට පැමිණෙන බවටත් එම අවස්ථාවේදීම පොලීසියට තොරතුරක් ලැබී තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කළ සැඟවී සිටීමේ මෙහෙයුමකින් අනතුරුව සැකකරු නිවසට පැමිණෙන විටම අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති අතර, ඔහු සතුව තිබූ බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
විදේශ රටක සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සැකකරුට ලබා දී ඇති බවත්, සැකකරු මියගිය සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙසෙල්වත්ත දිනුකගේ සමීපතමයකු බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (23) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, සැකකාර ගුරුවරිය රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval