prasanna-who-was-caught-in-an-insurance-fraud-case-is-granted-bail

 අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.



අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.




මෙම අත්අඩංගුවට ගැනීමට පාදක වී ඇත්තේ 2021 වර්ෂයේ දී, එවකට සංචාරක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ආයතන හතරක සේවකයින් සඳහා වෛද්‍ය රක්ෂණයක් ලබාගැනීමේ සිද්ධියකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන සඳහා මෙලෙස රක්ෂණ ආවරණ ලබාගෙන ඇත.


චෝදනාවට අනුව, අදාළ රක්ෂණ ආවරණ රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් කිසිදු කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව ලබාගැනීමට අවස්ථාව තිබී ඇත. එසේ තිබිය දී, 'මයි ඉන්ෂුවරන්ස් බ්‍රොකර්ස්' නමැති තැරැව්කාර සමාගමක් මෙම ගනුදෙනුව සඳහා මැදිහත් කරවාගෙන තිබේ.




මෙම අනවශ්‍ය මැදිහත් කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් අදාළ තැරැව්කාර සමාගම වෙත නොගෙවිය යුතු මුදලක් වන රුපියල් 4,750,828.72 (රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙකක්) ගෙවීමට සලස්වා ඇති බව විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

එමගින් තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් මිලියන 4.7ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍යවරයා අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට සැකකෙරේ.

ඇප මත නිදහස්වූ හිටපු ඇමතිවරයා ඉදිරි නඩු විභාග වලට පෙනී සිටීමට නියමිතය.