power-outages-in-several-areas-let-us-know-via-the-app-ceb

 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව දැනුම් දීමට පාරිභෝගිකයින් විශාල පිරිසක් උත්සාහ දැරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථාන වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම තත්ත්වය මත දුරකථන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බැවින්, විදුලිය බිඳවැටීම් වාර්තා කිරීම සඳහා විකල්ප ඩිජිටල් සේවාවන් භාවිතා කරන ලෙස විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.




ඒ අනුව, පාරිභෝගික සේවා නිලධාරියෙකු සම්බන්ධ වන තෙක් රැඳී සිටීම වෙනුවට CEBCare ජංගම දුරකථන යෙදවුම (Mobile App), CEBCare වෙබ් අඩවිය හෝ 1987 අංකය වෙත කෙටි පණිවිඩයක් (SMS) යොමු කිරීම මගින් තම පැමිණිලි වඩාත් කඩිනමින් ඉදිරිපත් කිරීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතී. මීට අමතරව ස්වයංක්‍රීය දුරකථන ප්‍රතිචාර පද්ධතිය (IVR) ඔස්සේ ද බිඳවැටීම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට පහසුකම් සලසා ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

මේ වන විටත් විදුලිබල මණ්ඩලයේ නඩත්තු කණ්ඩායම් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙම හදිසි කාලගුණික ආපදා තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාව දක්වන සහයෝගය අගය කරන බව ද විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.