නුගේගොඩ ප්‍රදේශයේ පැවති විපක්ෂයේ විරෝධතා රැලියක වේදිකාව මත ගමන් මල්ලක සඟවාගෙන සිටි බව කියන පිස්තෝලය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයකු වන උදිත් ලොකුබණ්ඩාර මහතාගේ කොම්පඤ්ඤවීදියේ පිහිටි නිවසේදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 25 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනතාව අමතමින් සිටියදී ඔහු අසල සිටි උදිත් ලොකුබණ්ඩාර මහතා ගමන් මල්ලක් තුළ මෙම පිස්තෝලය සඟවාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, විශාල ජනකායක් රැස්ව සිටි ස්ථානයක අනාරක්ෂිත ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත තමා සතුව තිබූ ලියාපදිංචි පිස්තෝලය සහ රිවෝල්වරය භාර දී තිබූ ලොකුබණ්ඩාර මහතාට, මීට මාසයකට පමණ පෙර ඉන් එක් ගිනි අවියක් නැවත ලබා දී ඇත්තේ එය ලබා ගැනීමෙන් පසුව ඊට අදාළ ලියාපදිංචි බලපත්‍රය සකස් කර ගන්නා ලෙසට වූ කොන්දේසිය මත වුවද, නුගේගොඩ රැලියට සහභාගී වන අවස්ථාව වන විටත් ඔහු ඊට අදාළ වාර්ෂික බලපත්‍රය ලබාගෙන නොතිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
බස්නාහිර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, එම විමර්ශන වාර්තා පදනම් කරගනිමින් ඉදිරියේදී සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval