parliament-in-danger-of-being-submerged

 පවතින අධික වර්ෂාපතනයත් සමඟ දියවන්නා ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව තිබේ. පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි සභා ගොඩනැඟිලි පරිශ්‍රය වෙත ජලය ගලා ඒමට ඉතිරිව ඇත්තේ අඩි එකක හෝ දෙකක වැනි සුළු මට්ටමක් පමණි.



මෙම හදිසි ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේ පහළ මහලේ තැන්පත් කර තිබූ බඩු භාණ්ඩ ආරක්ෂිතව ඉහළ මහල වෙත රැගෙන යෑමට බලධාරීන්ගේ උපදෙස් මත සේවක මණ්ඩලය පියවර ගෙන ඇත.


විශේෂයෙන්ම ජල ගැලීමක් සිදු වුවහොත් සංකීර්ණයේ පහළින්ම පිහිටා ඇති කමිටු කාමර පළමුවෙන්ම යටවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින්, එම කාමරවල පැවති පොත්පත් සහ ගෘහ භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ගොඩනැඟිලි සංකීර්ණය තුළට ජලය කාන්දු වීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත වැලි කොට්ට අතුරා බාධක යෙදීමට ද මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී. එමෙන්ම දියවන්නා ඔයේ ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳව නිරන්තර විපරමින් සිටීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද මේ වන විටත් එම පරිශ්‍රය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට වර්ෂා සහිත කාලගුණ තත්ත්වයන්හිදී ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන ජලය පහළට ගලා ඒම හේතුවෙන් දියවන්නා ඔය ඉතා කෙටි කාලයක් තුළ පිරී යෑම සාමාන්‍ය තත්ත්වයකි.