nugegoda-rally-no-speakers-due-to-al-on-nugegoda-traffic-alternate-routes-from-2pm-to-5pm

ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනුම් දී ඇති පරිදි, අද දින (2025.11.21) දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී මහජන රැළියක් පැවැත්වීමට නියමිතව ඇත. විපක්සයේ පක්ෂ කිහිපයක් එක්ව සංවිධානය කරන මෙම මහජන රැළියට සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්ෂිකයින් සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ.



ඒ අනුව, දහවල් 02.00 සිට රැළිය අවසන් වන තෙක් නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව ඇත. එම කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන්ට හා මහජනතාවට ඇති විය හැකි අපහසුතා අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන සඳහා හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකිය.


එසේම, පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට අපේක්ෂා කරන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියට සහ එතැන් සිට ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දිය ඔස්සේ හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට අවස්ථාව සැලසේ. මීට අමතරව, මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරය දෙසට ගමන් කරන වාහනවලට ගම්සභා හන්දියෙන් දකුණට හැරී කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැකිය.

මේ අතර, අද දින දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට සූදානම් කර ඇති මහජන රැළිය සඳහා ශබ්ද විකාශණ යන්ත්‍ර බලපත්‍ර එහි සංවිධායකවරුන් විසින් මිරිහාන පොලිස් ස්ථානය මගින් ඉල්ලුම් කර තිබේ. මෙම රැළිය සඳහා දිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල මහජනතාවක් පැමිණීමට නියමිත බවට වාර්තා වේ.




කෙසේ වෙතත්, මහජන රැළිය පවත්වන ස්ථානයට යාබදව මේ දිනවල අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පිහිටා තිබීම හේතුවෙන්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය මගින් විභාග සඳහා පෙනී සිටින සිසුන්ට බාධාවක් සිදුවිය හැකි බව පොලිසිය පෙන්වා දෙයි. අද දින උදෑසන 08.30 සිට 11.40 දක්වාත්, සවස 02.00 සිට 05.00 දක්වාත් උසස්පෙළ විභාගය පැවැත්වීමට නියමිතය.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිත කිරීමේදී පවතින නීතිරීති වලට අනුකූලව කටයුතු කිරීමටත්, සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් පසු පිටව යාමට හැකි වන පරිදි කටයුතු කිරීමටත්, විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙසටත් පොලිසිය විසින් ශබ්ද විකාශණ යන්ත්‍ර බලපත්‍ර කොන්දේසි ලබා දී ඇත. ඒ අනුව, මෙම රැළිය පවත්වන පරිශ්‍රය තුල පමණක් ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කරන ලෙසත්, බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දැනුම් දී තිබේ.