ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු බ්‍රිතාන්‍යය තුළ දේශපාලන රැකවරණ ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍යයේ පළවන ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර තිබේ.
මොහු ඉස්ලාමීය ජාතිකයෙකු බව කීවත් අනන්‍යතාව පුවත්පත මගින් හෙළි කර නැත.
පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැඳවූ එම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ලක්වූ මෙම ශ්‍රී ලාංකික සැකකරු, බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු කාර්යාලය මගින් මුලින් ප්‍රතික්ෂේප කර තිබූ රැකවරණ ඉල්ලීමක් නැවත විභාග කිරීම සඳහා අභියාචනයක් ජයග්‍රහණය කර තිබේ. මොහුගේ අනන්‍යතාව හෙළි කර නොමැති අතර, ඔහුට නිර්නාමිකභාවය ලබා දී ඇත. 2022 වසරේදී ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇප මත මුදා හැර සිටියදීය.
බ්‍රිතාන්‍ය ජාතිකයින් හය දෙනෙකු ඇතුළු විශාල පිරිසක් මියගිය මෙම ප්‍රහාර මාලාව සුඛෝපභෝගී හෝටල් සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල විය. මොහු 2022 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයට පැමිණ ඇති අතර ඉන් මසකට පසුව දේශපාලන රැකවරණ ඉල්ලා තිබේ. ආගමන විගමන විනිශ්චය සභාව හමුවේ කරුණු දක්වමින් ඔහු පවසා ඇත්තේ තමන් රටින් පිට වූ පසු ශ්‍රී ලංකා පොලිසිය තම පවුලේ නිවසට පැමිණි බවත්, නැවත ලංකාවට ගියහොත් තමාට අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බියක් පවතින බවත්ය. කෙසේ වෙතත්, තමාට එල්ල වී ඇති ත්‍රස්ත චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ රැකවරණ ඉල්ලීම බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය විසින් මුලින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔහු ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙන බැවිනි. එහෙත්, ඉහළ ආගමන විගමන විනිශ්චය සභාවක් හමුවේ ඔහු ගොනු කළ අභියාචනයකදී, පෙර පැවති නඩු විභාගයේදී නීතිමය දෝෂ සිදුවී ඇති බව තහවුරු විය. නියෝජ්ය ඉහළ විනිශ්චය සභා විනිසුරු ක්ලෙයාර් බර්න්ස් තීරණය කර ඇත්තේ, සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර ඇත්තේ ඔහු රටින් පිටව ගිය පසුව බවත්, ඔහු ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් නිවැරදිව තක්සේරු කිරීමට පෙර විනිසුරුවරයා අසමත් වී ඇති බවයි. මේ හේතුවෙන් ඔහුගේ නඩුව මුල සිට නැවත විභාග කිරීමට නියෝග කර ඇත.
තමන්ව 2022 ජනවාරි 5 වන දින අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බවත්, විශාල අල්ලසක් ගෙවීමෙන් පසු මුදා හරින ලද බවත් සැකකරු ප්‍රකාශ කර ඇත. ජාතික තව්හිද් ජමාත් (NTJ) නමැති ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිටුපස සිටි බව විශ්වාස කෙරේ. මෙම ප්‍රහාරයෙන් මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයින් අතර අමිතා නිකල්සන් සහ ඇගේ දරුවන් දෙදෙනා ද, ලොරේන් කැම්බල්, බිල් හැරොප් සහ වෛද්‍ය සැලී බ්‍රැඩ්ලි යන අය ද වූහ. කොළඹ ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් වැනි ප්‍රධාන හෝටල්වලදී මෙම විදේශිකයින් ඝාතනයට ලක්විය.
මෙම සිදුවීම වාර්තා වන්නේ බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම් ෂබානා මහමුද් විසින් එරට රැකවරණ පද්ධතියේ පුළුල් ප්‍රතිසංස්කරණ ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකය. නව නීති මගින් සරණාගත තත්ත්වය තාවකාලික එකක් බවට පත් කිරීමටත්, ආරක්ෂිත යැයි සැලකෙන අවස්ථාවක සංක්‍රමණිකයන් නැවත ඔවුන්ගේ මව් රටවලට හරවා යැවීමටත් අමාත්‍යවරුන්ට බලය ලබා දී තිබේ. නීති විරෝධී සංක්‍රමණිකයන්ට සහ විදෙස් අපරාධකරුවන්ට මානව හිමිකම් නීති යොදා ගනිමින් පිටුවහල් කිරීමට එරෙහිව සටන් කිරීමේ හැකියාව සීමා කිරීමට ද රජය පියවර ගනිමින් සිටී.
සැකකරුගේ මෙම නඩු විභාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සැක කටයුතු ත්‍රස්තවාදියෙකුට බ්‍රිතාන්‍ය භූමියට ඇතුළු වීමට ඉඩ නොදීම සඳහා රජය මෙම රැකවරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි. උසාවිය හමුවේ එම තීරණය වෙනුවෙන් දැඩිව පෙනී සිටින බව ද ඔහු අවධාරණය කළේය. මිනිස් අයිතිවාසිකම් නීති ප්‍රතිසංස්කරණය කිරීම සහ අභියාචනා පද්ධතියේ පවතින දුර්වලතා මගහරවා ගැනීම හරහා නීති විරෝධී සංක්‍රමණිකයන්ට බ්‍රිතාන්‍යය ආකර්ශනීය ගමනාන්තයක් වීම වැළැක්වීමට කටයුතු කරන බව ද රජය වැඩිදුරටත් පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval