lecos-black-benz-and-byd-craze

 ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාගේ භාවිතය සඳහා රුපියල් කෝටි අටකට ආසන්න වටිනාකමකින් යුතු අති සුඛෝපභෝගී බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ඇණවුම් කර ඇති බවත්, එය ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිත බවත් එම සමාගමේ සේවකයෝ පවසති. රජයට බහුතර කොටස් හිමි සමාගමක් වන ලෙකෝ ආයතනයේ සභාපතිවරයාට භාවිත කිරීම සඳහා දැනටමත් බෙන්ස් රථයක් තිබියදී,

මෙලෙස නව රථයක් ඇණවුම් කිරීම රාජ්‍ය මුදල් බරපතළ ලෙස අවභාවිත කිරීමක් බවට සේවකයෝ චෝදනා කරති.

මෙම මෝටර් රථ ඇණවුම, ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ලෙකෝ සභාපති තනතුරට පත්කළ ජානක අලුත්ගේ මහතාගේ සේවා කාලය තුළ සිදු කර ඇති බවද සේවක ආරංචි මාර්ග සඳහන් කරයි. වාහන ආනයනය කරන සමාගම විසින්, ඔවුන් සතුව තිබූ රිදී පැහැති බෙන්ස් රථයක් රුපියල් කෝටි හතක මුදලකට ලබා දීමට යෝජනා කර තිබියදීත්, කළු පැහැති මෝටර් රථයක්ම ඉල්ලා සිටීම හේතුවෙන් මෙම නව රථය ආනයනය කිරීමට සිදු වූ බවද පැවසේ.


මීට අමතරව, සමාගමේ සෙසු නිලධාරීන්ගේ භාවිතය සඳහා යැයි පවසමින් බීවයිඩී (BYD) වර්ගයේ වාහන දහයකට ආසන්න සංඛ්‍යාවක්ද මෑතකදී මිලදී ගෙන ඇති බව සේවකයෝ පෙන්වා දෙති.

'මාලිමා' ආණ්ඩුව පත්වීමෙන් පසුව ලෙකෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතුල සිල්වා මහතා ඉවත් කර ජානක අලුත්ගේ මහතා පත් කළ අතර, පසුව ඔහුවද ඉවත් කර වත්මන් සභාපති ඉංජිනේරු කනිෂ්ක ජයසේකර මහතා මීට දින කිහිපයකට පෙර එම ධුරයට පත් කරන ලදී. සේවකයන් පෙන්වා දෙන පරිදි, මීට පෙර 2009 සහ 2013 වසරවලදීද සමාගමේ සභාපතිවරුන් සඳහා සුපිරි වාහන මිලදී ගෙන ඇති අතර, එම වාහන වර්තමානයේද ඉතා හොඳ තත්ත්වයේ පවතී. එසේම, පෙර සිටි සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් විසින් මිලදී ගත් එහෙත් භාවිතයට නොගන්නා තවත් අලුත් වාහන සමාගම සතුව තිබියදී, මෙලෙස අධික මිලක් දරමින් නව සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම අනුමත කළ නොහැකි බව සේවකයන්ගේ මතයයි.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන බැවින්, ඔහු නිල බලයෙන් ලෙකෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයද නියෝජනය කරයි. සමාගම විසින් මෙලෙස මුදල් නාස්ති කිරීමේ පාඩුව අවසානයේ පාරිභෝගික ජනතාව මත පටවන බව පවසන සේවකයෝ, ලෙකෝ සමාගම සපයන සේවාවන් සඳහා අයකරන ගාස්තුද මේ වන විටත් ඉතා ඉහළ මට්ටමක පවතින බව සඳහන් කරති.




මෙම අති සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් වත්මන් සභාපති කනිෂ්ක ජයසේකර මහතාගෙන් විමසීමකදී, බෙන්ස් රථයක් ඇණවුම් කර ඇති බව තහවුරු කළ නමුත්, එය මෙතෙක් ලැබී නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. තමන් ධුරය භාරගෙන දින කිහිපයක් පමණක් වන බැවින්, මෙම ඇණවුම සිය පාලන කාලය තුළ සිදු වූවක් නොවන බවද ඔහු අවධාරණය කළේය. එම රථය ගෙන්වීමේදී නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඇත්දැයි තමා මේ වන විට සොයා බලමින් සිටින බවත්, එහි කිසියම් ගැටලුවක් පවතින්නේ නම් තමා එම රථය භාවිත කිරීමෙන් වළකින බවත් ජයසේකර මහතා පැවසීය. තවද, තමා දන්නා කාලයේ සිටම සුපිරි වාහන පාවිච්චි කළ පුද්ගලයෙකු බැවින් මෙම බෙන්ස් රථය භාවිත කිරීමේ විශේෂ වුවමනාවක් තමාට නොමැති බවත්, අවශ්‍ය නම් එය වෙනත් අයෙකුට ලබා දෙන බවත් ඔහු කියා සිටියේය.

මෙම මෝටර් රථ ඇණවුම පිළිබඳව ලෙකෝ සමාගමේ හිටපු සභාපති ජානක අලුත්ගේ මහතාගෙන් කළ විමසුමකදී, ඒ පිළිබඳව මේ වන විට සිටින නිලධාරීන්ගෙන්ම විමසීම වඩාත් සුදුසු බව ඔහු ප්‍රකාශ කළේය. එම රථය ඇණවුම් කළේ කවුරුන්ද, එසේ ඇණවුම් කිරීමට හේතුව කුමක්ද යන්න වත්මන් සභාපතිවරයාගෙන් නොව, එහි සිටින අනෙකුත් වගකිවයුත්තන්ගෙන් අසා දැනගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.