බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් කදිරේෂන් බෝක්කුව ආසන්න ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වේ.
පවතින වර්ෂාව හේතුවෙන් අද (24) සවස කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයට, හල්දුම්මුල්ල නගරයට නුදුරු කදිරේෂන් ඇල්ල ආසන්නයේදී විශාල ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජී පියංගිකා මහත්මිය පැවසුවාය.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව පොලීසිය සඳහන් කරයි.
කඩා වැටී ඇත්තේ ඉතා ප්‍රපාතාකාර බෑවුම් සහිත මුදුනක සිට පෙරළී ආ පස් කඳු සහ ගල් බව ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය. මාර්ගයට වැටී ඇති සුන්බුන් ඉවත් කිරීම අවදානම් විය හැකි බැවින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව කටයුතු කළ යුතුව ඇති බව ද ඇය සඳහන් කළාය.
මේ වන විට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටියි.
කෙසේ වෙතත්, මෙම මොහොත වන විට එම ප්‍රදේශයට වැසි තත්ත්වයේ අඩුවක් පවතින අතර, ඉදිරියේ දී වැස්ස ඇති වුවහොත් තවදුරටත් නායයෑම් ඇතිවීමට ඉඩ ඇති බවට පොලීසිය අනතුරු අඟවයි.
මේ අතර, කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයට විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කරන හල්දුම්මුල්ල – සොරගුණේ – කිරවණාගම හරහා බෙරගලට වැටෙන මාර්ගයද පස් කඳු කඩා වැටීමෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval