කළු ගඟ ද්‍රෝණියට මේ වන විට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනය සහ ජල මාපක දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් රතු පැහැති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (28) පෙරවරු 7.30 ට අංක 02 යටතේ නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, කළු ගඟ අවට පහත් බිම් ප්‍රදේශවල ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතී. මෙම අනතුරු ඇඟවීම 2025 නොවැම්බර් මස 30 වනදා පෙරවරු 7.30 දක්වා බලාත්මක වනු ඇත.මෙම මහා ගංවතුර අවදානම රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට සෘජුවම බලපෑම් එල්ල කරනු ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල ද මෙම ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පෙන්වා දෙයි.
මෙම හදිසි ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාව ඉතා විමසිල්ලෙන් කටයුතු කළ යුතු අතර, එම ගංවතුර අවදානම් ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරුන් සහ මගීන් ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද මේ වන විටත් උපදෙස් ලබා දී ඇත.
නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval