අත්අඩංගුවට පත්වන සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශනවලට අදාළ තොරතුරු සමාජ මාධ්‍ය ඇතුළු බාහිර මාධ්‍ය වෙත මුදා හැරීම වළක්වාලමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා වූ උසස් නිලධාරීන් වෙත පසුගිය 06 වැනිදා මෙම විශේෂ නියෝගය නිකුත් කර ඇත.
පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරනු ලබන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන්, අදාළ දේපළ සහ එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන ආකාරය පිළිබඳ තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ අවිධිමත් ලෙස ප්‍රචාරය වීම මෑතකාලීනව බහුලව දක්නට ලැබුණු බව පොලිස්පතිවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන අයුරු පොලිස් නිලධාරීන් විසින්ම සිය ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම දැඩිව නිරීක්ෂණය වී ඇති බව අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙලෙස සත්‍යතාව තහවුරු නොකළ තොරතුරු මෙන්ම සංස්කරණය කළ හෝ නොකළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය වීම ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලට අගතිදායක විය හැකි බව පොලිස්පතිවරයා අවධාරණය කරයි. එසේම පොලිසිය සිදුකරන වැටලීම් අවස්ථාවන්ට මාධ්‍ය ආයතන කැඳවාගෙන යාම මගින් විමර්ශනවලට මෙන්ම නීතිමය කෘත්‍යයන්ටද බාධාවන් එල්ල වන බව පෙන්වා දී තිබේ.
ඒ අනුව ඉදිරියේදී යම් මෙහෙයුමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා දීම අත්‍යවශ්‍ය නම්, කොට්ඨාස ඡායාරූප නිලධාරීන් මාර්ගයෙන් ලබාගන්නා දර්ශන සහ ඊට අදාළ විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත යොමු කළ යුතු බවට නියෝග කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තොරතුරු ලබා දිය හැකි එකම නිලධාරියා වන අතර, පොලිස්පතිවරයාගේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බවද මෙම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දන්වා සිටියි.