වසර තිහක රාජ්‍ය සේවයෙන් පසු තමන් 13 වැනිදා විශ්‍රාම යන බවත්, ඉන් අනතුරුව පෞද්ගලික අංශයේ රැකියාවකට යොමුවන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී සඳහන් කළේය. පෞද්ගලික අංශ ගණනාවක් තමාට ඒ සඳහා ආරාධනා කර ඇති බවද හෙතෙම කීය. තමන් මෙම ධුරයට පැමිණියේ විශාල කාර්යභාරයක් ඉටු කර යෑමේ අරමුණින් බවත්, තමා සෑමවිටම තම ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළ බවත් ඔහු පැවසීය.
තමාට මරණ තර්ජන එල්ල වුවද, තමන් ඝාතනය නොකරන බව දන්නා නිසා තවමත් නිදහසේ බස් රථවල ගමන් කරන බවද රත්නායක මහතා කියා සිටියේය. විශ්‍රාම යෑමෙන් පසු තම ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති නමුත්, තමන් කොහොමත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ අයෙකු බවද ඔහු සඳහන් කළේය.
සිය සේවා කාලය තුළ දේශපාලනඥයන් සමග පැවැත්වූයේ අවම ගනුදෙනුවක් බව පෙන්වා දුන් ඒ මහතා, තමන් නුවරඑළියේ සේවය කරන සමයේ කිසිදු දේශපාලනඥයෙකු සිය කාර්යාල කාමරයට ගෙන්වා නොගත් බව සිහිපත් කළේය. එම ආදර්ශය හේතුවෙන් කොමසාරිස් ජනරාල් ධුරයේදී සිය තීරණවලට දේශපාලනඥයන්ගෙන් අතපෙවීමක් සිදු නොවූ බවත්, එම ආදර්ශය කොමිසමේ අනෙක් 14 දෙනාටද ලැබුණු බවත් ඔහු කීය. තමන් කිසිවිටෙක පුද්ගලයා මත උත්තර වෙනස් කරන අයෙකු නොවූ බවද රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ඇගයීමේ උත්සවය සඳහා පොළොන්නරුව, මඩකළපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම, පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයානාත් මහතා ඇතුළු එම සංවිධානයේ සාමාජික පිරිසක්ද සහභාගී වී සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval