
මහඔය පොලිස් වසමේ, බොරපොළ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහඔය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම අපරාධය රාත්‍රී 8.30ට පමණ සිදුව ඇති බවත්, තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් මරණයට හේතු වී ඇති බවත් වාර්තා වේ.
මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 31 හැවිරිදි එක් දරු පියෙකි. මරණකරු අම්පාර මල්වත්ත යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ලාන්ස් කෝප්‍රල්වරයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ සෙබළා සහ සැකකරුගේ බිරිඳ අතර කලක සිට අනියම් සබඳතාවක් පැවති ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. ඊයේ දින රාත්‍රියේ මියගිය පුද්ගලයා අදාළ කාන්තාව සමඟ ඇය පදිංචි බොරපොළ අංක 14 දරණ නිවසේ කාමරයක් තුළ සිටියදී, එම කාන්තාවගේ නිත්‍යානුකූල සැමියා නිවසට පැමිණ ඇත.
එම අවස්ථාවේදී, තම බිරිඳ සමග සිටි සෙබළා දුටු සැකකාර සැමියා, නිවසේ තිබූ මන්නා පිහියකින් ඔහුට කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි. ඝාතනය සිදුකළ සැකකරු බොරපොළ ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, ඔහුද මින්නේරිය යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකු බවට හඳුනාගෙන තිබේ.
අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සැකකාර සෙබළා පළමුව 119 හදිසි ඇමතුම් අංකය අමතා සිද්ධිය දැනුම් දී, පසුව මහඔය පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී ඇත. සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, මහඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval