දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර ගැලීම් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජල සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති අතර, ගංවතුර බලපෑමක් නොමැති ප්‍රදේශවල පවා පානීය ජල ගැටලු නිර්මාණය වී තිබේ. මෙම අවිනිශ්චිත තත්ත්වය හමුවේ පිරිපහදු කළ පානීය ජලය සඳහා පාරිභෝගිකයින්ගෙන් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බැවින්
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළෙඳපොළේ ජල බෝතල් අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු ජල මූලාශ්‍ර සහ පිරිපහදු මධ්‍යස්ථාන රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. මෙම ජල ගැලීම් හේතුවෙන් අදාළ මධ්‍යස්ථානවල ජල පොම්ප ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ පොම්පාගාර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බැවින්, ජල මට්ටම පහව ගිය පසු ඒවා යථා තත්ත්වයට පත් කර නැවත ජල සැපයුම ලබා දීමට යම් කාලයක් ගතවනු ඇතැයි සභාපතිවරයා සඳහන් කරයි. මීට අමතරව කෑගල්ල සහ මාවනැල්ල යන ප්‍රදේශවල ජල සැපයුමට ද මේ වන විට බාධා එල්ල වී ඇති අතර උතුරු මැද, සබරගමුව සහ ඌව යන පළාත්වල පිහිටි ජල පොම්පාගාර ද මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත තුළ ජල සැපයුමට මෙතෙක් සෘජු බාධාවක් එල්ල වී නොමැති නමුත්, කැලණි ගඟේ ජල මට්ටම වෙනස් වීම මත අඹතලේ ජල පවිත්‍රාගාරයේ මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් පවතී. යම් හෙයකින් පවිත්‍රාගාරයේ ක්‍රියාකාරීත්වයට ගැටලු මතු වුවහොත් කොළඹ නගරයට ජලය සැපයීමේදී බාධාවන් ඇති විය හැකි බව ජල සම්පාදන මණ්ඩලය අවධාරණය කරන අතර, කෙසේ හෝ මෙම තත්ත්වය පාලනය කර ගනිමින් ජල සැපයුම පවත්වා ගැනීමට උපරිම උත්සාහයක් දරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval