sub-inspector-who-worked-with-underworld-leader-palani-remotion-arrested

 ඉන්දියාවට පලාගොස් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි රිමෝෂන් නමැත්තාට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබා දුන් බව කියන පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මෝදර පොලිසියට අනුයුක්තව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කළ සැරයන්වරයෙකු මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති අතර කොළඹ උතුර (2) සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මූලික විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත.




අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ පසුගිය හත්වැනිදා කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ ද මෙම රථයෙන් බවයි. පාතාල නායක පලනි රිමෝෂන්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 'වලා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු විසින් මෙම රථය භාවිතා කරමින් සිට ඇති බවත්, සැරයන්වරයා විසින් පසුගිය ඔක්තෝබර් 21 වැනිදා ඔහුගෙන් එම රථය ඉල්ලාගෙන උප පොලිස් පරීක්ෂකවරයාට ලබා දී ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

කොටහේන ඝාතනය සඳහා මෙම රථය යොදාගෙන ඇති බවට තොරතුරු දැන සිටියදීත් සැරයන්වරයා ඒ පිළිබඳව සිය උසස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවට විමර්ශනවලදී තහවුරු වී ඇත. මේ අතර පාතාල නායකයෙකුට අයත් මෙම සැකකටයුතු මෝටර් රථය සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත්තේ යැයි චෝදනා එල්ල වී ඇති උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ද පොලිසිය විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.