bangladesh-court-sentences-sheikh-hasina-to-death-for-crackdown-on-protest

 පසුගිය වසරේ ඇයගේ ආවාමී ලීග් රජය බිඳ වැටීමට තුඩු දුන් ශිෂ්‍ය නැගිටීමකදී මාරාන්තික මර්දනයක් දියත් කිරීම හරහා සිදුකළ "මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ" සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දණ්ඩනය නියම කර තිබේ. බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් මාස ගණනාවක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.



විනිසුරු මොහොමඩ් ගොලාම් මොර්තුසා මජුම්දර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිශ්චය සභාව, ෂෙයික් හසීනා චෝදනා තුනක් යටතේ (ප්‍රකෝප කිරීම, ඝාතනයට නියෝග කිරීම සහ අපරාධ වැළැක්වීමට අසමත් වීම) වැරදිකරු බවට තීරණය කළේය. ඇය සමඟ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල් සහ හිටපු පොලිස් ප්‍රධානී චෞද්‍රි අබ්දුල්ලා අල්-මාමුන් ද එම චෝදනාවලට ලක්ව සිටියහ.




අධිකරණය නිරීක්ෂණය කළේ හසීනා රජය සිසුන්ගේ ඉල්ලීම් නොසලකා හැරි බවත්, එවක අගමැතිනිය ශිෂ්‍ය ව්‍යාපාරය හෑල්ලු කරමින් ඔවුන්ව 'රසාකර්' (බංග්ලාදේශයේ භාවිත වන නිග්‍රහාත්මක යෙදුමකි) ලෙස හැඳින්වූ බවත්ය. මෙම ප්‍රකාශ හමුවේ සිසුවියන් ද ඇතුළුව සිසුන් උරණ වූ අතර, පසුව ෂෙයික් හසීනා "විරෝධතා දක්වන සිසුන් තුරන් කිරීමට" නියෝග කළ බව අධිකරණය සඳහන් කළේය.

ඩකා විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දෙනු ලැබුවේ චත්‍රා ලීගය සහ යුවා ලීගය ඇතුළු ආවාමී ලීග් පක්ෂ අංශ විසින් බවට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ඔප්පු කර ඇති බව විනිසුරුවරුන් පෙන්වා දෙන ලදී. "විරෝධතාකරුවන් එක්රැස් වන ස්ථාන සොයා ගැනීමට ඩ්‍රෝන යානා ද, ඔවුන් ඝාතනය කිරීමට හෙලිකොප්ටර් සහ මාරාන්තික ආයුධ ද භාවිතා කරන ලෙස ෂෙයික් හසීනා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නියෝග කළාය," යනුවෙන් අධිකරණය ප්‍රකාශ කළේය.

ඩ්‍රෝන යානා, මාරාන්තික ආයුධ සහ හෙලිකොප්ටර් භාවිතයට ආධාර අනුබල දීමෙන් සහ එම කුරිරුකම් වැළැක්වීමට අපොහොසත් වීමෙන් හිටපු ස්වදේශ අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල් සහ හිටපු පොලිස් ප්‍රධානී චෞද්‍රි අබ්දුල්ලා අල්-මාමුන් ද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කර ඇති බවට අධිකරණය තීරණය කළේය. කෙසේ වෙතත්, අබ්දුල්ලා අල්-මාමුන් අපරාධය සම්බන්ධයෙන් පූර්ණ හෙළිදරව්වක් කරමින් තම මැදිහත්වීම පිළිගත් බැවින් ඔහුට සමාව ලබා දෙන ලදී.

78 හැවිරිදි ෂෙයික් හසීනා සහ කමල් යන දෙදෙනාම පලාගියවුන් ලෙස සලකා ඔවුන් නොමැතිව නඩු විභාගය පවත්වා ඇත. ඔවුන් අධිකරණය මඟහැර සිටීම ඔවුන්ගේ වරදකාරීත්වය යෝජනා කරන්නක් බව අධිකරණය පැවසීය. 2024 අගෝස්තු 5 වන දින බංග්ලාදේශයෙන් පලා ගිය ෂෙයික් හසීනා මේ වන විට ඉන්දියාවේ පිටුවහල්ව ජීවත් වන අතර, කමල් ද ඉන්දියාවේ රැකවරණය ලබන බවට විශ්වාස කෙරේ.

ඝාතනය, ඝාතනයට තැත් කිරීම, වධහිංසා පැමිණවීම සහ අනෙකුත් අමානුෂික ක්‍රියා ඇතුළු චෝදනා පහකට ඔවුහු මුහුණ දුන්හ.


විරෝධතාකරුවන් "සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට" නියෝග කිරීම ප්‍රධාන චෝදනාවක් විය. "ජූලි නැගිටීම" ලෙස හැඳින්වෙන මෙම කාලය තුළ (ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා) පුද්ගලයින් 1,400 ක් පමණ මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත.

ප්‍රධාන අභිචෝදක මොහොමඩ් තජුල් ඉස්ලාම් විසින් ෂෙයික් හසීනා මෙම අපරාධවල "ප්‍රධාන සැලසුම්කරු සහ නිර්මාතෘ" ලෙස හඳුන්වා දෙන ලදී, නමුත් ඇයගේ ආධාරකරුවන් පවසන්නේ මෙම චෝදනා දේශපාලනිකව පොළඹවන ලද ඒවා බවයි. මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය ෂෙයික් හසීනා පිටුවහල් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇතත්, ඉන්දියාව ඊට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර රට පුරා ආරක්ෂාව තර කර තිබුණි. ගිනි තැබීම්, පිපිරීම් හෝ පොලිසියට සහ සිවිල් වැසියන්ට හානි කිරීමට තැත් කරන ඕනෑම අයෙකුට එරෙහිව එම ස්ථානයේදීම වෙඩි තැබීමේ නියෝගයක් ඩකා නගර පොලිස් කොමසාරිස් ෂෙයික් එම්.ඩී. සජ්ජාත් අලි විසින් ඉරිදා සවස නිකුත් කරන ලදී. මේ වන විට විසුරුවා හැර ඇති ආවාමී ලීගය තීන්දුවට පෙර දින දෙකක හර්තාලයක් කැඳවා තිබූ අතර, ප්‍රචණ්ඩ ක්‍රියා පිලිබඳ බිය හේතුවෙන් අගනුවර වීදි බොහෝ දුරට පාළුවට ගොස් තිබිණි. ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභා සංකීර්ණය වටා යුධ හමුදා භටයින්, බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක භටයින් සහ කැරලි මර්දන පොලිසිය යොදවා ඇත.