army-and-examinations-commissioner-intervene-to-resolve-weather-disruptions-to-al-exams

 පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින අතර, ඔවුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ආරක්ෂක අංශ සහ ස්වේච්ඡා සංවිධාන රැසක් මැදිහත් වී සිටියි.



විශේෂයෙන්ම නෙළුව, අකුරැස්ස සහ සියඹලාගොඩ වැනි ප්‍රදේශවල විභාග අපේක්ෂකයින් ජල ගැලීම් හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින හෙයින්, යුද හමුදාවේ මැදිහත් වීම මත ට්‍රැක්ටර් රථ යොදා ගනිමින් එම දරුවන්ව විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු යොදා තිබේ.




දැනටමත් අදාළ ප්‍රදේශවල මාර්ග සහ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති බැවින් ගංවතුර අවදානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතර, පීඩාවට පත් දරුවන්ට සහාය වීමට ආපදා කළමනාකරණ ආයතන මෙන්ම අතුරලිය ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු පිරිසක් ද දායකත්වය ලබා දී ඇත.

මේ අතර කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ ආපදා තත්ත්වයක් හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ කොටසක් වසා දමා ඇති බැවින්, එම මාර්ගය ඔස්සේ විභාග මධ්‍යස්ථාන වෙත ගමන් ගන්නා සිසුන්ට දුම්රිය මාර්ගය හෝ වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම අවහිරතා පවතින මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන සිසුන්ගේ පහසුව වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධව විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇත.




හදිසි ජල ගැලීම් තත්ත්වයන් තුළදී විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීමට නොහැකි සිසුන් වෙතොත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටියි.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සිසුන්ට දැනුම් දෙන්නේ, විකල්ප ප්‍රවාහන ක්‍රම මගින් හෝ විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි සිසුන් වෙතොත් වහාම ළඟම පිහිටි කලාප අධ්‍යාපන කාර්යාලය හෝ හදිසි ඇමතුම් අංක අමතන ලෙසයි.

මෙම කාලගුණික තත්ත්වය හමුවේ කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට සැලසුම් කරගන්නා ලෙස ඉල්ලා සිටින අතර, හදිසි අවස්ථාවක දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 යන ක්ෂණික ඇමතුම් අංක අමතා සහාය ලබා ගත හැකිය.