
සිය මවට මාරාන්තික ලෙස පහරදී ඝාතනය කළ බව කියන පුත්‍රයෙකු, ඇයගේ මළ සිරුර රෝහල් මෘතශරීරාගාරයේ තබා තිබියදීම, අසල්වැසියන්ට අම්මා මියගිය බව පවසා මුදල් එකතු කර මතක බණක් සහ දානයක්ද සංවිධානය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය හෙළි කරයි. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන, ඥානේන්දර පාරේ පදිංචිව සිටි වයලට් වීරරත්න නමැති හැටපස් හැවිරිදි දෙදරු මවකි. බරපතල තුවාල ලබා සිටි ඇය,
වැටීමක් හේතුවෙන් තුවාල ලැබූ බවට සැලවීම මත අසල්වැසියෙකු විසින් පසුගිය පළමුවන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.
රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඉකුත් හත්වන දින මියගොස් ඇති බව පොලිසිය පවසයි. මරණය සම්බන්ධයෙන් සැකයක් මතු වූ බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නියම කර ඇත. ඊට හේතු වී ඇත්තේ මියගිය කාන්තාවගේ උගුරු දණ්ඩ පුපුරා ගොස් තිබීම සහ සිරුරේ පහරදීම්වලට ලක්වූ ලක්ෂණ පැවතීමයි.
පහරදීමකින් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව මරණ පරීක්ෂණයේදී තහවුරු වීමත් සමග පොලිසිය පුළුල් විමර්ශනයක් දියත් කළේය. එහිදී අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ පුත්‍රයාගෙන් ප්‍රශ්න කිරීමේදී, තමා විසින් සිදුකළ පහරදීමකින් මව මියගිය බවට ඔහු පිළිගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය වූ දිනයේ රාත්‍රියේ සැකකරු නිවසින් පිටතට යෑමට උත්සාහ කිරීමත්, මව විසින් ඊට විරුද්ධ වීමත් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම මාරාන්තික පහරදීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. පහරදීමෙන් පසු සැකකරු නිවසින් පළා ගොස් ඇති අතර, පසුව රෝහල්ගත කළ මව මියගිය බව දැනගත් පසු ඔහු යළි නිවසට පැමිණ ඉහත කී දානමය කටයුත්ත සංවිධානය කර ඇත.
මියගිය මව සහ සැකකාර පුත්‍රයා නිවසේ තනිවම වාසය කර ඇති අතර, තමා පහරදීමෙන් පසු මව බිම ඇදවැටුණු බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval