වැසිකිළි වලට දරු කළල හලා යන්නේ අනවශ්‍ය දරු ගැබක් ගබ්සා කළ විටෙකය. සරසවි ප්‍රේමයක අහඹු දරු උපතක් වළක්වා ගැනීමේ උත්සාහයක්දැයි සැක සිතෙන සිදුවීමක් පේරාදෙණියෙන් වාර්තාවේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ සිව්වන මහලේ පිහිටි වැසිකිළියක් තුළ තිබී මිනිස් කළලයක බවට සැක කෙරෙන කොටස් කිහිපයක් හමුවී තිබේ. මේ සම්බන්ධයෙන් නේවාසිකාගාරය භාර උප ශාලාධිපතිනිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අදාළ කළල කොටස් හමුවීමෙන් අනතුරුව උප ශාලාධිපතිනිය විසින් ඒවා නේවාසිකාගාරය අසල වළ දැමීමට කටයුතු කර ඇති බවත්, පසුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත පොලීසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ. ඊයේ (07) දහවල් උප ශාලාධිපතිනිය සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ කළල කොටස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.
නේවාසිකාගාරයේ රැඳී සිටින සිසුවියක විසින් මෙම කළල කොටස දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මෙම නේවාසිකාගාරය තුළ වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය සහ පශු වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවියන් ඇතුළු 2000ක පමණ පිරිසක් නේවාසිකව රැඳී සිටිති.
කෙසේ වෙතත් 4 වන මහලේ මෙකී වැසිකිලිය පරිහණය කරන්නේ සීමිත පිරිසකි. පොලිසිය අදාළ තරුණියන් සම්බන්ධව කරන පරීක්ෂණයේදී එම වැසිකිලිය භාවිත කරන සියලු දෙනා ගැන අවධානය යොමු කරනු ඇති අතර ශ්‍රී ලංකාවේ නීතියට පටහැණි ආකාරයේ ගබ්සාවක් කරගත් සිසුවියක සිටීනම් ඒ අනුව හඳුනාගන්නට ඉඩ ලැබෙනු ඇත.
පේරාදෙණිය පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.