gossiplanka image 1

 ශ්‍රී ලාංකේය සිනමාවේ සහ ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන 44 වන සිග්නීස් ටෙලි - සිනමා සම්මාන ප්‍රදානෝත්සවය (2025) ඊයේ (01) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. මෙවර සම්මාන උළෙල 2023 සහ 2024 යන ද්විත්ව වර්ෂයන්හි නිර්මාණ ආවරණය කරමින් පැවැත්වීම විශේෂත්වයකි.
ක්ෂෙත්‍රයේ කථාබහට ලක්වූ  දිනක්ෂි  සහ උමාලි දෙන්නාම සම්මාන වලින් පිදුම් ලැබීම මෙම උත්සවටයේ විශේෂත්වයකි. 



2024 වර්ෂය සඳහා වන හොඳම චිත්‍රපටය ලෙස චන්න දේශප්‍රියගේ අධ්‍යක්ෂණයක් වන, ලක්ෂාන් අබේනායක සහ මාක් ටෙසියර් එක්ව නිෂ්පාදනය කළ “දූස්රා” චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය. 2023 වර්ෂයේ හොඳම චිත්‍රපටය ලෙස ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ “රහස් කියන කඳු” අභිෂේක ලැබූ අතර, එය සුනිල් ටී. ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශප්‍රිය සහ රසිත ජිනසේන යන අයගේ ඒකාබද්ධ නිෂ්පාදනයකි.




ටෙලි නාට්‍ය අංශයේදී, ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ "සුසුම් රස්තියාදුව" 2024 වසරේ හොඳම ටෙලි නාට්‍යය බවට පත්විය. එය ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් වන අතර කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේ විසින් නිෂ්පාදනය කරන ලද්දකි. 2023 වසරේ හොඳම ටෙලි නාට්‍යය ලෙස ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ, වසන්ත කන්නංගර නිෂ්පාදනය කළ “එයා දැන් බැඳලා” ටෙලි නිර්මාණය සම්මානය දිනා ගත්තේය.

සිනමා නිර්මාණ වෙනුවෙන් පිරිනැමෙන හොඳම නළුවා සම්මානය 2024 වර්ෂය සඳහා "සිහින සමීකරණ" හි රංගනයෙන් දායක වූ සජිත ඇන්තනීට හිමි වූ අතර, 2023 වර්ෂය සඳහා "රහස් කියන කඳු" චිත්‍රපටයේ දැක්වූ දක්ෂතාව වෙනුවෙන් සරත් කොතලාවල එම සම්මානයෙන් පිදුම් ලැබීය. ටෙලි නාට්‍ය අංශයේ හොඳම නළුවා සම්මාන, "සුසුම් රස්තියාදුව" වෙනුවෙන් විශ්වජිත් ගුණසේකරට (2024) සහ "එයා දැන් බැඳලා" හි රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරාට (2023) හිමි විය.

2024 වසරේ හොඳම සිනමා නිළිය ලෙස "දූස්රා" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් තිලක්ෂිණී රත්නායක ද, 2023 වසරේ හොඳම සිනමා නිළිය ලෙස "වෙඩි නොවදින ළමයි" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අන්සුයා සුබසිංහ ද සම්මානයට පාත්‍ර වූහ.


ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේදී, "Take Care" ටෙලි නාට්‍යයේ රංගනය උදෙසා දිනක්ෂි ප්‍රියසාද් (2024) සහ "එයා දැන් බැඳලා" හි භූමිකාව වෙනුවෙන් සේමිණී ඉද්දමල්ගොඩ (2023) හොඳම නිළිය ලෙස අභිෂේක ලැබූහ.

මෙවර සම්මාන උළෙලේදී සජිත ඇන්තනී "දූස්රා" චිත්‍රපටය වෙනුවෙන් 2024 වසරේ හොඳම සහය නළුවා (සිනමා) සම්මානය ද දිනා ගැනීම විශේෂත්වයකි. 2023 වසරේ එම සම්මානය "රහස් කියන කඳු" හි රංගනයට සම්පත් ජයවීරට හිමිවිය. ටෙලි නාට්‍ය අංශයේ හොඳම සහය නළුවා සම්මාන, ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ, චින්තන ධර්මදාස සහ මුවිදු බිනෝයි අධ්‍යක්ෂණය කළ "මීයා" ටෙලි නාට්‍යය වෙනුවෙන් ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට (2024) සහ "එයා දැන් බැඳලා" වෙනුවෙන් ප්‍රදීප් රාමවික්‍රමට (2023) පිරිනැමිණි.

හොඳම සහය නිළිය (සිනමා) සම්මාන "සිහින නෙළුම් මල්" චිත්‍රපටය වෙනුවෙන් උමාලි තිලකරත්නට (2024) සහ "වෙඩි නොවදින ළමයි" වෙනුවෙන් ප්‍රබෝධිනී චන්ද්‍රසේනට (2023) හිමි විය. ටෙලි නාට්‍ය අංශයේදී "සුසුම් රස්තියාදුව" හි රංගනය වෙනුවෙන් ප්‍රවීණ ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න (2024) සම්මානය දිනාගත් අතර, 2023 වසරේ සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වූ (චන්දන ජයසිංහ සහ සුරාජ් මාපා අධ්‍යක්ෂණය කළ) "නොනිමි" ටෙලි නාට්‍යය වෙනුවෙන් තිලක්ෂිණී රත්නායකට හිමිවිය.

අධ්‍යක්ෂණය වෙනුවෙන් පිරිනැමෙන සම්මාන අතර, "දූස්රා" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ චන්න දේශප්‍රිය 2024 වසරේ හොඳම සිනමා අධ්‍යක්ෂකවරයා ලෙස ද, "වෙඩි නොවදින ළමයි" අධ්‍යක්ෂණය කළ ඉන්දික ෆර්ඩිනැන්ඩෝ 2023 වසරේ හොඳම සිනමා අධ්‍යක්ෂකවරයා ලෙස ද සම්මානයට පාත්‍ර වූහ. 2024 වසරේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස "Take Care" නිර්මාණය වෙනුවෙන් අනුශ්ක රසාංජන ද සිල්වා සම්මාන දිනා ගත්තේය.

ඡායාරූප එකතුව මේ සමග පහතින් Click Here