ගල්කිස්ස වෙරළ තීරයේදී මනාල යුවළකගේ පූර්ව මංගල ඡායාරූප ගැනීමේ කටයුත්තක නිරතව සිටි ඡායාරූප ශිල්පියෙකු සතු රුපියල් ලක්ෂ දොළහකට අධික වටිනාකමින් යුත් කැමරාවක් සහ ඊට අදාළ උපාංග සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ.
සැකකරු ගල්කිස්ස විහාර පාර ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙකු බව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.අදාළ ඡායාරූප ශිල්පියා එදින ඡායාරූප ගැනීමේ කටයුතු සඳහා පැමිණ, සිය මෝටර් රථය වෙරළ තීරය අසල අතුරු මාර්ගයක නවතා තබා ගොස් ඇති අතර නැවත පැමිණ රථය පරීක්ෂා කිරීමේදී එහි තිබූ වටිනා කැමරා උපකරණ අතුරුදන්ව ඇති බව නිරීක්ෂණය වී තිබේ. මේ පිළිබඳව සිදුකළ මූලික සොයාබැලීම්වලදී තහවුරු වී ඇත්තේ, කිසියම් පුද්ගලයෙකු විසින් ව්‍යාජ යතුරක් භාවිත කරමින් මෝටර් රථයේ දොර විවෘත කර ඉතා සූක්ෂම ලෙස මෙම භාණ්ඩ සොරාගෙන ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ මාර්ග සහ හෝටල්වල සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධති දැඩි පරීක්ෂාවකට ලක් කර ඇත. එම දර්ශන ඔස්සේ සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමටත්, ඔහු අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකිව තිබේ.