
දියණියක් සමඟ පැවැති ප්‍රේම සම්බන්ධතාවක් නතර කරන ලෙසට කළ අවවාද නොතකා හැරීම හේතුවෙන් උරණ වූ පියෙකු ඇතුළු එකම පවුලේ සාමාජිකයන් දස දෙනෙකුට ඇඹිලිපිටිය පූර්වගාමී මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් ඊයේ මරණීය දණ්ඩනය නියම කරන ලදී. වීරසිංහ ආරච්චිලාගේ වර්ණ ධම්මික නයනකුමාර නම් තරුණයා කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන්
වරදකරුවන් වූ කාන්තාවන් තිදෙනෙකු සහ මියගිය අයගේ පෙම්වතියගේ පියා ඇතුළු දස දෙනෙකුට මෙලෙස මරණ දඬුවම හිමි විය.ඝාතනයට ලක්වූ තරුණයා 2011 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී තම පෙම්වතිය හමුවීම සඳහා ඇඹිලිපිටිය මුල්ලගස්යාය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් තිබිණි. ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙසට පළමු විත්තිකරු විසින් මරණකරුට මීට පෙර තදින් අවවාද කර තිබුණද ඔහු එය නොතකා එම නිවසට ගිය අවස්ථාවේදී පළමු විත්තිකරු විසින් ඔහුව අල්ලාගෙන ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
එහිදී ක්‍රියාත්මක වූ සෙසු විත්තිකරුවන් නවදෙනා ද එක්ව තියුණු ආයුධවලින් සහ අතින් පයින් පහර දී මෙම අමානුෂික ඝාතනය සිදු කර ඇති බවට සාක්ෂි මගින් තහවුරු වී ඇත.
නීතිවිරෝධී ජන රාශියක සාමාජිකයන් වීම සහ මනුෂ්‍ය ඝාතනය ඇතුළු අධිචෝදනා තුනක් යටතේ විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි. දීර්ඝ කාලයක් තිස්සේ පැවති නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ, අදාළ විත්තිකරුවන් දස දෙනාට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සියල්ල පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.
කෙසේ වෙතත්, නඩුවේ දසවැනි සහ එකොළොස්වැනි විත්තිකරුවන් ලෙස නම් කර සිටි එම පවුලේම තවත් සාමාජිකයන් දෙදෙනාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සනාථ කිරීමට පැමිණිල්ල අසමත් වීම හේතුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. මින් එක් විත්තිකරුවකු දීර්ඝ කාලයක් අධිකරණය මගහැර සිට පසුව භාර වූ අයෙකු බව ද සඳහන් වූ අතර, නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවීම රජයේ අධිනීතිඥ මහෙන් ද සිල්වා මහතා විසින් සිදු කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval