අම්පාර, පොතුවිල් මූලික රෝහලේ වෛද්‍යවරියන්ගේ නිල නිවාස භූමියට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු, එහි සිටි සුනඛයන්ට ආහාර දෙමින් සිටි වෛද්‍යවරියකට අසභ්‍ය වචනයෙන් බැණ වැදී, තර්ජනය කර පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම සැකකරුවන් සුනඛයන්ට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකය.මෙම සිදුවීමෙන් පසු දින (25) අදාළ වෛද්‍යවරිය, එම රෝහලේම සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරයෙකු ද සමග පොතුවිල් පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ගොනු කර ඇත. සිකුරාදා (24) රාත්‍රියේ තමන් මුහුණ පෑ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය එහිදී කරුණු වාර්තා කර තිබේ.
වෛද්‍ය නිල නිවාස පිහිටි මෙම භූමියේ කලක පටන් සුනඛයන් කිහිප දෙනෙකු වාසය කරන අතර, එහි නේවාසික වෛද්‍යවරියන් විසින් එම සතුන් පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කර අවශ්‍ය එන්නත්කරණය ද සිදු කර ඇත. එම වෛද්‍යවරියන් මෙම සතුන්ට මහත් සෙනෙහසක් දක්වන අතර, දෛනිකව ඔවුනට අවශ්‍ය ආහාර පාන සැපයීමට ද කටයුතු කර තිබේ.
මෙම නිල නිවාස සඳහා වෙනම මුරකරුවකු සේවයේ යොදවා නොමැති පසුබිමක, අදාළ සුනඛයන්ගෙන් වෛද්‍යවරියන්ගේ ආරක්ෂාවට සැලකිය යුතු සහයෝගයක් ලැබෙන බව ද වාර්තා වේ.
පසුගිය සිකුරාදා රාත්‍රියේ එක් වෛද්‍යවරියක් සුපුරුදු පරිදි මෙම සුනඛයන්ට ආහාර ලබා දෙමින් සිටියදී, නිල නිවාස භූමියේ ගේට්ටුව අසලට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ තිබේ. "මේ පැත්තේ බල්ලන් ඇති කරන්න බැහැ" යනුවෙන් ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ඇත.
එම අවස්ථාවේ වෛද්‍යවරිය විසින්, සුනඛයන් පාරේ නොව නිල නිවාස භූමිය තුළ රැඳී සිටින බවට කරුණු පැහැදිලි කර දී ඇත. කෙසේ වෙතත්, එම පුද්ගලයන් දෙදෙනා ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කර, නීති විරෝධී ලෙස නිල නිවාස භූමියට ඇතුළු වී ඇති බව පොලිසිය පවසයි.
එලෙස ඇතුළු වූ සැකකරුවන්, ආහාර දෙමින් සිටි වෛද්‍යවරියට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති අතර, නැවත වරක් සුනඛයන්ට ආහාර නොදෙන ලෙසට තර්ජනය කර තිබේ. අනතුරුව ඔවුන් සුනඛයන්ට ගල් ප්‍රහාරයක් එල්ල කර එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදුවීම හේතුවෙන් තැති ගැන්මට පත් වූ එම නිල නිවාසයේ රාත්‍රී කාලයේ රැඳී සිටි වෛද්‍යවරියන්, එදින රාත්‍රිය රෝහල් පරිශ්‍රයට ගොස් ගත කර ඇති බවට ද රෝහල් ආරංචි මාර්ගවලින් තොරතුරු වාර්තා වේ. පොතුවිල් පොලිසියේ නිලධාරී කණ්ඩායමක්, ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරමින් සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.
Comments
Post a Comment
Your comment will be visible after approval