when-thajudeen-died-kajaja-was-a-defense-ministry-official-in-the-rajapaksa-government

 රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන විමර්ශනවලදී නව තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතියි.



මෙම විමර්ශන ඔස්සේ අරණ විධානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ නැමැත්තා, තජුඩීන් ඝාතනය සිදුවන කාලවකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කර ඇති බවට කරුණු හෙළිදරව් වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් කජ්ජාගේ බිරිඳ සඳහන් කර ඇත්තේ,

2012 වසරේ මැයි මස 17 වන දින ඝාතනය සිදුවීමට පෙර, රගර් ක්‍රීඩකයාගේ රථය පසුපස මෝටර් රථයකින් ලුහුබැඳ ගිය පිරිස අතර තම සැමියාද සිටි බවයි. කෙසේ වෙතත්, ඔහුගේ පුත්‍රයා සහ අනෙකුත් ඥාතීන් විසින් එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් විවිධ කරුණු ඉදිරිපත් කර ඇත.

ඝාතනය සිදුවූ දිනයේ කජ්ජා රැඳී සිටි ස්ථාන සහ ඔහුගේ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව විමර්ශන සිදුකරයි.

මේ අතර, මෙම ඝාතනය සඳහා ගිනි අවිය ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇති පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු වන සම්පත් මනම්පේරි, දින 90ක රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට 'බී' වාර්තාවක් ඉදිරිපත් කරමින් වැඩිදුරටත් දන්වා ඇත්තේ, සැකකරුගෙන් තජුඩීන් ඝාතනයට අදාළව මෙන්ම මිද්දෙණිය ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයක් සම්බන්ධයෙන්ද ප්‍රශ්න කිරීම් සිදුකරන බැවින් ඔහුව තවදුරටත් පොලිස් භාරයේ රඳවා තබාගැනීමට අවශ්‍ය බවයි.