ඊයේ (18) මහයියාව පොදු සුසාන භූමියේදී භූමිදාන කටයුතු සිදු කෙරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතාගේ හදිසි මරණය තවමත් ප්‍රහේලිකාවක් බවට පත්ව තිබෙයි.
ඔහු මියගිය ආකාරය නිවැසියන්ටද පැහැදිලි කරන්නට බැරිව ගොස් ඇති බව පෙන්නුම් කර තිබේ.
මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් මෘත දේහයේ ආමාශයේ කොටස් ඇතුළු ශරීර අභ්‍යන්තර කොටස් රජයේ රස පරීක්ෂකවරයාට මේ වනවිට යොමු කර තිබේ.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ඉකුත් 17 දින නිදි යහනේදීම මිය ගොස් තිබූ අතර රාත්‍රී නින්දට ගිය ඔහු උදෑසන අවදිනොවූ බව බිරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ.සිදුකළ විමර්ශනවලදී ඒ මහතාගේ ඇඳ අසල තිබී වස ද්‍රව්‍යයක් අඩංගු බවට සැකකෙරෙන බෝතලයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
දකුණු පළාතේ උපන්නෙකු වූවත් වර්ණවීර මහතා පදිංචිව සිටියේ උඩරට ප්‍රදේශයේය.
වර්ණවීර මහතා කටුගස්තොට අඹතැන්න බොකලවෙල ප්‍රදේශයේ නිවසක ඔහුගේ බිරිඳ සමග කලක සිට පදිංචිව සිට ඇති අතර ඔහු 16 වනදා නිවසේ සිටියේ බිරිය හා ලේලිය සමග පමණි. ඔහු 17 වැනිදා මියයාමට පෙර 16 දිනයේ රාත්‍රී නින්දට ගොස් 17 දින පෙරවරු 10 පමණ වනතුරු අවදි නොවීම හේතුවෙන් ඔහු එතරම් වේලා නිදාගන්නේ ඇයිදැයි සොයා බැලීමේදී ඔහු මිය ගොස්සිටි බව වර්ණවීර මහතාගේ බිරිඳ වන ජනකී අබේසිංහ මහත්මිය පොලිසියට ප්‍රකාශ කොට තිබේ. ඔහු මියගොස් ඇත්තේ වස ශරීරගතවීමකින් නම් මෙම මරණය සියදිවිනසාගැනුමක්ද ඝාතනයක්ද යන සැක මතුවේ.
ඔහුගේ ඥාතීන් ද පැවසුවේ ඔහු පෙරදින රාත්‍රියේ නින්දට ගිය පසු යළි අවදි නොවීම පිළිබඳව විමසිලිමත් වීමේදී ඔහුගේ මරණය පිළිබඳ දැනගත් බවයි.
එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ජයනන්ද වර්ණවීර මහතාගේ බිරිඳත් ඔහුගේ ලේලියත් පමණක් වන අතර මරණය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේදී ඔහුගේ මියයාමට හේතුව සොයාගැනීම දුෂ්කර විය.
ඒ මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් සිදුකර විවෘත තීන්දුවක් ප්‍රකාශ කලේ වැඩිදුර අධ්‍යයනයකින් තොරව මරණයට හේතු කිව නොහැකි බව පවසමිනි.
දේහයේ ආමාශයේ කොටස් ඇතුළු ශරීර අභ්‍යන්තර කොටස් රජයේ රස පරීක්ෂකවරයාට මේ වනවිට යොමු කර තිබේ.
අවශ්‍ය කොටස් සුරක්ෂිත කිරීමෙන් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතුඅදාහනයක් ලෙස නොව භූමිදානයක් ලෙස කරන්නට නියමවූ අතර එය සිදුකිරීම සඳහා ඒ මහතාගේ බිරිඳට භාරදීමට පියවර ගෙන තිබුණි.
මරණය පිළිබඳව රස පරීක්ෂක වාර්තාව අනුව ඉදිරියේදී මරණය සිදුවූ ආකාරය සොයාගන්නට හැකිවනු ඇත.
රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ මරණයට හේතුව තවත් සති දෙකකින් පමණ ප්‍රකාශ කළ හැකි වනු ඇති බවයි.
මියයනවිට 64 වියේ පසුවූ ජයනන්ද වර්ණවීර මහතා ටෙස්ට් ක්‍රිකට් තරඟ 10 කට හා එක් දින ක්‍රිකට් තරග 06 කට ක්‍රීඩා කර තිබෙන අතර ඒ මහතා ක්‍රිකට් දිවියන් සමු ගැනීමෙන් පසු කලක් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ භාරකරු ලෙසද කටයුතු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval