wanninayake-who-was-released-on-bail-returns-to-the-police-today-16

 නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) දින උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත වාර්තා කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.



ඊයේ (15) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඒ මහතාව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. එමෙන්ම, සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් සිදුකළහොත් ඇප අවලංගු කරන බවටද මහෙස්ත්‍රාත්වරයා දැඩිව අවවාද කළේය.

ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීම, පරුෂ වචනයෙන් බැණ තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපතිවරයා ද වන ගුණරත්න වන්නිනායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.




අධිකරණය හමුවේ සැකකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින්, මෙම සිදුවීමට මුල් වී ඇත්තේ නීතිඥවරයකුට පොලිස් නිලධාරියෙකු විසින් පහරදීමක් බවත්, ඉන් අනතුරුව ඇතිවූ වචන හුවමාරුවක් මෙලෙස බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත් පැවසීය. පොලිසියේ සිටින සුළු නිලධාරීන් පිරිසකගේ කනගාටුදායක හැසිරීම් හේතුවෙන් මෙවැනි තත්ත්වයන් උද්ගත වන බවත්, සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා මාර්ග බාධක පවා යොදා තිබීම බලතල අවභාවිත කිරීමක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජීවි අමරසූරිය මහතා, මෙය අධිකරණ පද්ධතියේ අභ්‍යන්තර ගැටලුවක් බවත්, අනවශ්‍ය ලෙස දුරදිග යාමට ඉඩ නොදී සමථයකට පත්කළ යුතු බවත් සඳහන් කරමින් සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, පොලිස් නීති කොට්ඨාසය නියෝජනය කරමින් පෙනී සිටි නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ මහතා ඇප ලබා දීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේය. සැකකාර නීතිඥවරයා විමර්ශන සඳහා සහය නොදැක්වූ බවත්, සිද්ධිය වූ අවස්ථාවේදී ඇතැම් පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ලබා දෙන ලෙස පැවසීමෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිදුවීම කෙරෙහි විශාල මහජන අවධානයක් යොමු වී ඇති බැවින්, ඇප ලබා දීමෙන් මහජන නොසන්සුන්තාවයක් ඇතිවිය හැකි බවද පෙන්වා දෙමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකාර නීතිඥවරයාට ඇප නියම කළ අතර, විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් මස 17 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.