ගණේමුල්ලේ සංජීව නම් පාතාල නායකයා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින තමරා අබේරත්න නම් නීතිඥවරිය නදුන් චින්තක නොහොත් හරක් කටා , පානදුරේ කුඩු සලිඳු සහ ශිරාන් බාසික් දරූන් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු පාතාල අපරාධකාරයන් රැසක් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ ප්‍රබලයෙකු වන අතර මේ වනවිටත් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින දරූන් නමැති පාතාල ප්‍රබලයා සමඟ මෙම නීතිඥවරිය සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට ද මේ වනවිට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නමැත්තාට අයත් බව කියන ගල්කිස්සේ මුහුදු වෙරළේ තිබූ අනවසර හෝටලය කඩා ඉවත් කිරීමේදී පොලිසියට එරෙහිව නීතිමය කටයුතු කිරීමට ඉදිරිපත් වී ඇත්තේ ද මෙම නීතිඥවරිය බව පොලිසිය පවසයි.
ඊට අමතරව මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල නායකයෙකු බව කියන පානදුරේ කුඩු සලිඳු වෙනුවෙන් ද අධිකරණයේ පෙනී සිට ඇත්තේ ද මෙම නීතිඥවරිය බව විමර්ශනවලින් තවදුරටත් හෙළිවී ඇත.
ගණේමුල්ලේ සංජීව අධිකරණය තුළදී ඝාතනය කිරීම සඳහා ඉෂාරා සෙව්වන්දිට අවශ්‍ය පහසුකම් මෙම නීතිඥවරිය විසින් සපයා දී ඇත්තේ ඩුබායිහි සිටින දරූන් නමැති පාතාල ප්‍රබලයාගේ ඉල්ලීම මත බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම නීතිඥවරිය දැන දැනම මිනිස් ඝාතනය සඳහා පාතාල අපරාධකරුවන්ට උපකාර කර ඇති බවට හැඟී යන බව පොලිසිය පවසන අතර, එබැවින් ඇයට බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙන බව ද විමර්ශන නිලධාරීහු කියා සිටිති.
මුලින්ම මෙම නීතිඥවරිය පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදීය.
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු මෙම නීතිඥවරිය මින්පෙර කෙහෙල්බද්දර පද්මේගේ නඩු සඳහා ද පෙනීසිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
කෙහෙල්බද්දර පද්මේ විසින් සැකකාර නීතිඥවරියට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා දී ඇතැයි සැක කෙරෙන අතර, ඒ අනුව අධිකරණ නියෝග මත ඇයගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, ඇයගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත් පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම සැකකාර නීතිඥවරිය පසුගිය ජුනි මාසයේදී කටුනායක ගුවන් තොටුපොළින් සිංගප්පූරුව හරහා ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඇය වරින්වර කුලී පදනම මත නිවාස ලබාගනිමින් පදිංචිය වෙනස් කර ඇති බව විමර්ශන නිලධාරීන් පවසන අතර, ඇය මෙම ඝාතනය සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පොතක්, ටයි පටි දෙකක්, ව්‍යාජ හැඳුනුම්පතක් සහ ඇතුළුවීමේ අවසර පත්‍රයක් (පාස් එකක්) සකස් කර දී ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මීට අමතරව, සැකකාර නීතිඥවරිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදි අනාවරණයවී ඇත්තේ නදුන් චින්තක නොහොත් හරක් කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ නීතීමය කටයුතු වෙනුවෙන් ද ඇය පෙනී සිට ඇති බවයි.
දේශසීමා උල්ලංඝනය කිරීමේ වරදකට සම්බන්ධ අපරාධකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ද ඔහු වෙනුවෙන් ඇය පෙනී සිට ඇතැයි තොරතුරු වාර්තා වන අතර, ඇය තවත් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිට ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ.
මෙම විමර්ශනවලදී පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසකගේ නම් ගෑවෙමින්, කෙහෙල්බද්දර පද්මේලාගේ නීතිඥවරියට සහයෝගය ලබා දී ඇත්තේ ද පොලිසියෙන් බවට තොරතුරු ලැබී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval