the-supreme-court-also-confirms-the-death-sentence-of-julampitiya-amare

 2012 වසරේ කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියමව සිටි ජුලම්පිටියේ අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නමැත්තාට නියම වූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඊයේ (07) දිනයේදී තහවුරු කරන ලදී.



තංගල්ල මහාධිකරණය මගින් ලබාදී අභියාචනාධිකරණය මගින්ද අනුමත කර තිබූ මරණ දඬුවම බලරහිත කර තමන්ව නිදොස් කොට නිදහස් කරන මෙන් ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

පෙත්සම විභාගයට ගැනීම සඳහා සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන බව විනිසුරු මඩුල්ලේ තීරණය විය.

2012 වසරේදී කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණට අයත් දේශපාලන රැස්වීමකට කඩාවැදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ජුලම්පිටියේ අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

එහිදී පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව 2019 වසරේදී විත්තිකරු චෝදනාවලට වරදකරු බවට තීරණය කළ මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කළේය. එම තීන්දුවට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනය 2024 වසරේදී විභාග කළ අභියාචනාධිකරණයද මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් මරණ දඬුවම අනුමත කිරීමෙන් අනතුරුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.



gossiplanka image 2