the-story-of-ratnapura-withanakanda-tea-which-set-a-guinness-record
ජපානයේ පැවති ලෝක ප්‍රදර්ශනයකට සමගාමීව සංවිධානය කෙරුණු විශේෂ තේ වෙන්දේසියකදී ශ්‍රී ලංකාවේ තේ කිලෝග්‍රෑමයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම මිල සටහන් කිරීමට රත්නපුර විතානකන්ද තේ කර්මාන්ත ශාලාව සමත් විය. එම තේ කිලෝග්‍රෑමය ඇමරිකානු ඩොලර් අටසිය හැටක මුදලකට, එනම් ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් දෙලක්ෂ පනස් පන්දහසකට අලෙවි වීමත් සමඟ එය ගිනස් ලෝක වාර්තාවක් ලෙසින් ද ඉතිහාසයට එක්විය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ කතිකාවතක් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රකාශයක් සමඟ රට තුළ නිර්මාණය විය. ඔහු නොබෙල් ත්‍යාගයක් ලෙස වැරදි ලෙස හඳුන්වා දුන් නමුත්, පසුව එය ගිනස් වාර්තාවක් බව පවසමින් සිය ප්‍රකාශය නිවැරදි කළේය. මෙම වරද නිවැරදි කිරීමත් සමඟ, මෙරට තේ කර්මාන්තය ලැබූ මෙම අති විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව පුළුල් අවධානයක් යොමු විය. අහසට පොළොව මෙන් වෙනස් සංකල්ප දෙකක් වන නොබෙල් ත්‍යාගය සහ ගිනස් වාර්තාව අතර වෙනස පැහැදිලි වීමත් සමග 'සිලෝන් ටී' සන්නාමය ලද ප්‍රචාරය ඉමහත්ය.

ජපානයේ ඔසාකා නුවර පැවති "World Expo" ප්‍රදර්ශනයට සමගාමීව මෙම පුණ්‍යාධාර තේ වෙන්දේසිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ දෙරටේ තේ වෙළෙඳ සංගම් එක්වය. "Ceylon special estate tea" ලෙස නම් කෙරුණු මෙම වෙන්දේසිය සඳහා තේ තෝරා ගැනීම ශ්‍රී ලංකාවේදී සිදුකෙරුණේ දැඩි තරගකාරී ක්‍රියාවලියකින් අනතුරුවය.

දිවයිනේ ප්‍රධාන තේ වගා කලාප හත නියෝජනය කරමින් ඉදිරිපත් වූ තේ වර්ග හාරසියයකට අධික සංඛ්‍යාවක් අතුරින්, විශේෂඥ රස පරීක්ෂක මණ්ඩලයක් විසින් නිර්නාමිකව පරීක්ෂා කර හොඳම තේ වර්ග විසි හතක් තෝරා ගන්නා ලදී.

සබරගමුව පළාත නියෝජනය කරමින් රන් සම්මානය දිනාගත් විතානකන්ද තේ කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදිත 'ලංකා කළු තේ (FFFxSp)' වර්ගය, ජපානයේ පැවති වෙන්දේසියේදී ගැනුම්කරුවන්ගේ ඉහළම ආකර්ෂණය දිනා ගත්තේය. එහිදී ජපානයේ සහ ප්‍රංශයේ ව්‍යාපාරික කටයුතු සිදුකරන ජනට් පාරිස් ඉන්ටර්නැෂනල් සමාගම විසින් මෙම තේ තොගය ලෝක වාර්තාගත මිලකට මිලදී ගන්නා ලදී. එම සමාගම සඳහන් කර ඇත්තේ විතානකන්ද තේ සන්නාමය සඳහා තම වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ඕනෑම මිලක් ගෙවා එය ලබා ගැනීමට තීරණය කළ බවය.

වර්ෂ 1940 දී පුංචි බණ්ඩාර හේරත් පිලපිටිය මහතා විසින් රත්නපුර දෙල්වල ගම්මානයේදී ආරම්භ කරන ලද විතානකන්ද තේ කර්මාන්ත ශාලාව, පසුව ඔහුගේ පුත් නවරත්න බණ්ඩාර හේරත් පිලපිටිය මහතා යටතේ ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රමුඛයෙකු ලෙස නමක් දිනා සිටියේය. නවරත්න මහතාගේ අභාවයෙන් පසු, ඇමරිකාවේ වෙසෙන ඔහුගේ දියණියන් විසින් කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වය 2023 වසරේදී එම්.ජී. සමූහ ව්‍යාපාරය වෙත පවරන ලදී. නව කළමනාකාරීත්වය යටතේ එම උරුමය තවදුරටත් ඉහළට ඔසවා තැබීමට හැකිවීම පිළිබඳව නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී පුබුදු ගුණසේකර මහතා සිය සතුට පළ කළේය.

මසකට නිමි තේ කිලෝග්‍රෑම් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාව, සේවක මණ්ඩලය ඇතුළුව තිස් දහසකට අධික පිරිසකගේ යැපුම් මාර්ගය බවට පත්ව තිබේ. තේ දලු සපයන පවුල් හත් දහසකට අධික සංඛ්‍යාවක් ද කර්මාන්ත ශාලාව හා සම්බන්ධව සිටිති. තම සාර්ථකත්වයේ රහස වන්නේ ගුණාත්මකභාවය, විශිෂ්ට රසය සහ ශක්තිමත් කණ්ඩායම් හැඟීම බව පුබුදු ගුණසේකර මහතා සඳහන් කරයි. විතානකන්ද තේ දේශීය වෙළෙඳපොළේ දක්නට නොලැබෙන අතර, එය සම්පූර්ණයෙන්ම අපනයනය සඳහා යොමු කෙරෙන සුඛෝපභෝගී නිෂ්පාදනයකි.

මෙම ඓතිහාසික තේ වෙන්දේසියෙන් උපයන ලද සමස්ත මුදලම කොළඹ තේ අලෙවිකරුවන්ගේ සංගමයේ පුණ්‍යායතන අරමුදලට බැර කෙරේ. එම අරමුදල්, තේ වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අධ්‍යාපනික හා සුබසාධන කටයුතු නගා සිටුවීම වෙනුවෙන් යොදවන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.



gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4