අපයෝජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු යුද හමුදා සෙබළෙකු දැඩි කොන්දේසි මත ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළේය.
කෙසේ වෙතත්, ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන තවත් චෝදනාවක් හේතුවෙන් මෙම සැකකරුට බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට නොහැකි වන අතර ඔහු තවදුරටත් රක්ෂිත භාරයේ පසුවනු ඇත. ගල්නෑව, නව නගරය ප්‍රදේශයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නැමැති මෙම සැකකරු, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග නිකුත් කළේය.
එක් ඇපකරුවෙකු සැකකරුගේ ළඟම ඥාතියෙකු විය යුතු බවට නියම කළ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවලට හෝ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයකින් බාධා නොකරන ලෙස සැකකරුට තරයේ අවවාද කළේය.
මීට අමතරව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කර තිබේ. මෙම වෛද්‍ය අපයෝජන සිද්ධියට අදාළව ගල්නෑව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී මෙම ජීව අත්බෝම්බය සොයාගෙන තිබිණි.
අපයෝජන සිද්ධියට අදාළව මේ දක්වා සිදුකර ඇති විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. තවද, සැකකරු විසින් පැහැරගෙන ගොස් සඟවා තිබූ බව කියන වෛද්‍යවරියට අයත් ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසටද අධිකරණය විසින් පැමිණිල්ලට නියෝග කරන ලදී.
පොලිස් වාර්තා අනුව, ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන, අවිවාහක හා වයස අවුරුදු 32ක් වන මෙම වෛද්‍යවරිය, සිය පැමිණිල්ලේ විස්තරාත්මකව සිදුවීම පැහැදිලි කර ඇත.
''මම පසුගිය මාර්තු 10 වැනිදා සවස 03.30ට රාජකාරි අවසන් කරලා වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා. පසුව ත්‍රිරෝද රථයකින් රුවන්වැලි සෑයට ගිහින් වැඳපුදාගත්තා. ඊට පස්සේ ත්‍රිරෝද රථයකින්ම සවස 06.30ට විතර වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා.
ඇවිත් කාමරයට ඇතුළුවීමට දොර අරින අවස්ථාවේ මාගේ පිටුපසින් කිසිවකු සිටින බව දැනිලා මම පිටුපස්සට හැරුණා. ඒ වෙලාවේදී මගේ කාමරයට ඉස්සරහ කාමරයේ දොරට හේත්තු වී සිටි පුද්ගලයකු මගේ බෙල්ලට පිහියක් තියලා මගේ කට ඔහුගේ අතින් වහගෙන කෑ ගහන්න එපා දොර අරින්න කිව්වා. බියට පත්වූ මා දොර විවෘත කළා.''
යනුවෙන් වෛද්‍යවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළු වන අවස්ථාවේදී, පසුපසින් පැමිණි මොහු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වේ. අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය ලවාම නිල නිවසේ දොර විවෘත කරවාගෙන තිබේ.
පසුව, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වූ ඔහු, කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘරලෙස දූෂණයට ලක් කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත.
අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වෛද්‍යවරියගේ ජංගම දුරකථන දෙකකින් එකක් ද පැහැරගෙන පළා ගොස් ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදා සෙබළා වන වී. නිලන්ත මධුරංග (34) පොලිස් වදහිංසන සහිත ප්‍රශ්න කිරීම් නිසා ඇතිවූ ගැටලු හේතුවෙන් රෝහල්ගත කරද සිටි අතර ඔහුගේ ගුද මාර්ගයේ ඇතිවූ සංකූලතා ගැනද වාර්තා විය.
මේ අතර, සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබාදීමේ හා වෛද්‍යවරියගේ දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මත සැකකරුගේ වැඩිමහල් සහෝදරිය වන ගල්කඩවල, කටුගහගරය, ඊතණ ඇළ පාරේ පදිංචි සාලිකා හර්ෂනී රත්නායක ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර මහේස්ත්‍රාත්වරයා ඇය මාර්තු 17 ඇප ලබාදී තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval