suspect-arrested-for-defrauding-14-9-million-by-showing-jobs-in-canada

කැනඩාවේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 149ක මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිංහාරගේ ජනක සිල්වා ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරු, කැනඩාවේ පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෙකු වන අතර, සිය කැනේඩියානු ස්ථිර පදිංචිය උපයෝගී කරගනිමින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවට චෝදනා එල්ල වේ.

ඔහු විසින් සිදුකළ ජාවාරමට හසුවූ පුද්ගලයින් දස දෙනෙකු විසින් කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි මත, අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබිණි. පොලිස් උපාය දූතයෙකු යොදා ගනිමින්, පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර දිය හැකි බවට පොරොන්දු වී සැකකරුව කාර්යාංශය වෙත ගෙන්වාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 09 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට මුදල් ලබා ගැනීම සහ වංචා කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු, ඔක්තෝබර් 10 වැනි දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මේ අතර, ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ රුමේනියාව, පෝලන්තය සහ ජර්මනිය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට දැන්වීම් පළ කරමින් මුදල් වංචා කළ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු "නිව් රෝයල් රෙක්රූට්මන්ට්" නමින් කාර්යාංශයේ ලියාපදිංචි නොවූ නීති විරෝධී බඳවා ගැනීමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. විදේශ රැකියාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන පොරොන්දු ඉටු නොකළ බවට ලද පැමිණිල්ලකට අනුව, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහුව කාර්යාංශය වෙත කැඳවා ඇති අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන ගුරුවරයෙකු වන මෙම සැකකරුට එරෙහිව තවත් පැමිණිලි ලැබෙමින් පවතින බවත්, ඔහු ඔක්තෝබර් 10 වැනි දින මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කාර්යාංශය පවසයි.

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද කාර්යාංශයේ විශේෂ පොලිස් ඒකකය වෙත මේ වන විට විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති අතර, සැකකරුවන් නීතිය හමුවට පැමිණවීම සඳහා මෙහෙයුම් පුළුල් කර තිබේ. මෙවැනි වංචනික ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව තොරතුරු වෙතොත්, 0112882228 යන දුරකථන අංකය ඔස්සේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය දැනුවත් කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

gossiplanka image 1


gossiplanka image 2