sri-lankas-letters-of-credit-are-opened-and-vehicles-detained-due-to-import-from-another-country-are-released

 ශ්‍රී ලංකාවේ ණයවර ලිපි විවෘත කර, වෙනත් රටකින් ආනයනය කිරීමේ හේතුව මත රේගු භාරයේ රඳවාගෙන සිටින වාහන, නිශ්චිත කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා රේගුව ඊයේ (16) දින අභියාචනාධිකරණය වෙත දැනුම් දෙන ලදී. මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ, රේගුව විසින් රඳවාගෙන ඇති වාහන මුදා හරින ලෙස ඉල්ලා ආනයනකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් 15ක් කැඳවූ අවස්ථාවේදීය.



මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බැලිණි.


පෙත්සම් මගින් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. වගඋත්තරකාර රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ, නඩුගත වාහන සඳහා ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පෞද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවා මුදා හැරිය හැකි බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීමෙන් පසුව අදාළ වාහන ලියාපදිංචි කිරීම සඳහා අවසර හිමිවන බව ද ජනාධිපති නීතීඥ ධර්මවර්ධන මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ,


අතීතයේදී ද මෙවැනි ආකාරයට ගෙන්වූ වාහන රේගුව විසින් මුදා හැර ඇති බවයි. එලෙස නිදහස් කළ වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

වාහන මුදා හැරීම සඳහා ආනයනකරුවන්ට ගෙවීමට නියමිත සියයට 35ක අධිභාරය සම්බන්ධයෙන් නඩු තීන්දුව පෙත්සම්කරුවන්ට පක්ෂව ලැබුණහොත්, එම මුදල් නැවත අයකර ගැනීමට හැකියාව පැවතිය යුතු බව ද ජනාධිපති නීතීඥ මුස්තාපා මහතා අවධාරණය කළේය. තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන මහත්වරු, මෙම නඩුකර සමථයකට පත් කිරීමේ හැකියාව විමසා බැලීම සඳහා ඉදිරි දිනයක් ඉල්ලා සිටියහ. ඒ අනුව, පෙත්සම් සමථයට පත් කිරීම ගැන තීරණයක් ගැනීමට නඩුව ලබන 22 වැනිදා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.