තරුණ පරම්පරාව Gen-Z සිදු කළ අරගලයෙන් පසු මැඩගස්කරයේ ජනපති රටින් පළාගොස් ඇති අතර මේ වනවිට ජනතාව සමග එක්ව කටයුතු කළ ප්‍රභූ හමුදා ඒකකයක් වන CAPSAT, එරට අර්බුදකාරී ජනාධිපති ඇන්ඩ්‍රි රාජොඑලිනා බලයෙන් පහ කරමින්, තමන් බලය අල්ලා ගත් බව නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය,නේපාලයට සමාන තරුණ නැගිටීමකින් පසු මෙම පෙරළිය සිද්ධ වූ රට බවට මැඩගස්කරය පත්විය.
කර්නල් මයිකල් රැන්ඩ්‍රිනිරිනා විසින් නායකත්වය දෙනු ලබන මෙම හමුදා ඒකකය, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය හැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය, සෙනෙට් සභාව සහ මැතිවරණ කොමිසම ඇතුළු සියලුම ව්‍යවස්ථාපිත ආයතන අත්හිටුවීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, ඉදිරි මාස 18 ත් අවුරුදු දෙකත් අතර කාලයක් තුළ මැතිවරණයක් පවත්වන බවටත්, සිවිල් ආණ්ඩුවක් පිහිටුවන බවටත් ඔවුහු පොරොන්දු වී සිටිති. "මෙහි ජනාධිපතිවරයෙක් නැහැ, ආණ්ඩුවක් නැහැ... කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ," යැයි කර්නල්වරයා ප්‍රකාශ කළේය.
බලයෙන් පහ කෙරුණු ජනාධිපති රාජොඑලිනා සිටින ස්ථානයක් පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරක් වාර්තා නොවේ. ඔහු ප්‍රංශ හමුදා ගුවන් යානයකින් රටින් පලා ගොස් ඇති බවට වාර්තා පැතිර යන අතර, මීට පෙර සඳුදා රාත්‍රියේ ඔහු ප්‍රකාශ කර තිබුණේ තමාට එල්ල වූ බව කියන ජීවිත තර්ජනයකින් පසු "ආරක්ෂිත ස්ථානයක" රැඳී සිටින බවයි. මෙම හමුදා බලය පෙරළීම සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත.
මෙම හමුදා ක්‍රියාමාර්ගය සිදුව ඇත්තේ, ජනාධිපතිවරයා සිය ධුරය අතහැර යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඡන්ද 130 කින් සම්මත කර ගැනීමෙන් පසුව වීම විශේෂත්වයකි. ඔහුගේම IRMAR පක්ෂයේ මන්ත්‍රීවරුන් ද ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, ඡන්ද විමසීමට පෙර ජනාධිපති රාජොඑලිනා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උත්සාහ කළ අතර, දෝෂාභියෝග ක්‍රියාවලිය "ශුන්‍ය සහ බල රහිත" බවට X (කලින් ට්විටර්) ඔස්සේ ප්‍රකාශ කර තිබුණි.
මෙම දේශපාලන අර්බුදයට පසුබිම් වී ඇත්තේ සති කිහිපයක් පුරා පැවති තරුණයින් විසින් මෙහෙයවන ලද මහජන විරෝධතා මාලාවකි. මුලින්ම රට පුරා පවතින දීර්ඝකාලීක ජල හා විදුලි කප්පාදුවලට එරෙහිව ආරම්භ වූ මෙම විරෝධතා, පසුව ජීවන වියදම ඉහළ යාම, දූෂණය සහ විරැකියාව වැනි කරුණු මුල් කරගනිමින් ජනාධිපති රාජොඑලිනාට ඉල්ලා අස්වන ලෙස බල කරන උද්ඝෝෂණ බවට පත් විය.
වර්තමාන බලය පෙරළීමට නායකත්වය දෙන CAPSAT ප්‍රභූ ඒකකය, පසුගිය සෙනසුරාදා මෙම විරෝධතාකරුවන් සමඟ අනපේක්ෂිත ලෙස එක්වීම ද තීරණාත්මක විය. දෛවයේ සරදමකට මෙන්, 2009 වසරේදී එවකට ජනාධිපති මාර්ක් රවලොමනානා බලයෙන් පහ කරමින් රාජොඑලිනාව බලයට ගෙන ඒමට සහාය වූයේ ද මෙම CAPSAT ඒකකයම වීම කැපී පෙනේ.
Comments
Post a Comment
Your comment will be visible after approval